Monday, August 7, 2017

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය

              බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත් වී තිබේ.


  • බුදුරජාණන් වහන්සේ වෙසක් පොහෝදා පිරිනිවන් පෑමෙන් තුන් මසක් ගත වීමෙන් පසු සිදුකරන ලද මුල්ම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පසළොස්වක පොහෝ දාය. අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සලකනූ ඇත. මුල්ම ධර්ම සංගායනාව සඳහා මහ රහතන් වහන්සේලා පන්සියයක් සහභාගි වූ අතර මාස හතක් පැවැත්විණි.

  • ආනන්ද මහ තෙරුවන් වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද නිකිණි පුර පසළොස්වක පොහෝදා අලුයමය.


  • නිකිණි පුර පසළොස්වක පොහෝදා මුල්කර ගෙන සිදුවන තවත් වැදගත් ශාසනික කටයුත්තක් නම් පසු වස් සමාදන් වීමයි. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති.

  • රාහුල පොඩිහාමුදුරුවන් වහන්සේ උතුම්වූ අර්හත් මාර්ග ඵල ප්‍රත්‍යක්ෂම කරන ලද්දේද මෙම නිකිණි පෝදා දිනක බව සඳහන්වී ඇත.


  • බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ වූයේ නිකිණි පුර පසළොස්වක පොහෝ දාය. 

Sunday, August 6, 2017

මළ මුහුද

              මුහුදු මට්ටමෙන් ඉතාමත් පහළ ස්ථානයක පිහිටි, අධික ලුණු සාන්ද්‍රණයකින් යුත් කිසිම ජීවියෙක් නැති මළ මුහුද ගැනයි අපි මේ ලිපියේ කතා කරන්නේ. ජිවයක් නොමැති මුහුද හෙවත් මළ මුහුද පිහිටා ඇත්තේ නැගෙනහිර ජෝර්දානයට මායිම්ව හා බටහිරින් ඊශ‍්‍රායාලයට මායිම්වයි. මීට වසර සිය ගණනකට පෙර මිනිසුන් මෙම මුහුද දුගඳ මුහුද, යක්ෂයාගේ මුහුද සහ තාර විල යන නම්වලින් හඳුන්වනු ලැබුවා. 
          
         මෙය පෘථිවිය සතු අද්වීතිය ස්ථාන වලින් එකක් වශයෙන් සැලකෙන අතරම, මෙම මුහුද අධික ලවණ තාවයකින් යුක්තය. එය සාමාන්‍ය මුහුදු ජලය මෙන් පස් ගුණයක ලවණතාවයෙන් වැඩිය. එනම් අන් සාගරවලට වඩා දළ වශයෙන් 8.6ක ගුණයකින් මෙහි ලවණතාව වැඩි බව සඳහන් වේ. මේ මුහුද වර්ග කිලෝමීටර 41650 ක් දක්වා පැතිරිලා තියෙනවා. මෙහි දිගම ස්ථානය කි.මී 67 ක් විදියටත් පළලම කි.මී 18 ක් ලෙසත් සටහන් වෙනවා. මෙහි උපරිම ගැඹුරු ස්ථානය මීටර 118 වනවා. ඒ වගේම මෙහි වෙරළ තීරය කිලෝමීටර කිලෝමීටර 135 ක් දිගින් යුක්ත වනවා. මෙම මුහුදේ සෝඩියම් ක්ලෝරයිඞ් හා වෙනත් ලවණ සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගුය. 

         

           මෙහි කිසිඳු ජීවියෙකුටවත්, පැළැටියකටවත් ජීවත් විමට නොහැකිය. ඒ අධික ලවණතාව නිසාය. ජීවින් ජිවත් නොවීම නිසාම මෙයට මළ මුහුද යන නම ද ලැබි ඇත. මළ මුහුදට සම්බන්ද ප‍්‍රධාන අතු ගංඟාව වශයෙන් ජෝර්දාන නදිය පිහිටා ඇත. මසුන් දස දහස් ගණනක් මළ මුහුදට යොමු වූවත් ඒ එකදු සත්වයෙකුට මෙහි අධික ලවණතාවය නිසා ජීවත් වෙන්න බැහැ.මෙම මුහුදේ පවතින අධික ලවණ ගුණය නිසා මිනිසුන්ට එහි පහසුවෙන් පාවිය හැකිය. පිහිනිමට නොහැකි පුද්ගලයෙකුට වුව ද මළ මුහුදේ දී ගිලිමකින් තොරව පාවිමට හැකි බව කියවේ. 
               
            එමෙන්ම මෙහි මඩවලට ඖෂධීය ගුණයක් ඇති බවට පිළිගැනිමක් පවතී. ඒ නිසාම අතීත රජවරු සහ රැජිණියන් ද තම නීරෝගි බව රැක ගැනිමට මෙම මළ මුහුදු ජලය සහ මඩ භාවිතා කළ බව සඳහන් වේ. පරිසරයේ ඇති දූවිලි, මල් රේණු වගේ දේවලින් ආසාත්මිකතා ඇතිවන පුද්ගලයන්ට මෙන්ම ශ්වසන රෝග හා සමේ රෝග තිබෙන පුද්ගලයන්ට මේක හොද වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙනවා. 


Saturday, August 5, 2017

ජායාරූපගත කිරිමේදී අනාවරණයේ වැදගත්කම.

           ජායාරූපගත කිරීමේ දී වැදගත් වන තවත් කරුණක් වශයෙන් අනාවරණය පෙන්වා දිය හැකිය. එය Exposing වේ. කැමරාවේ පටල පටය හෝ සංවේදකය වෙත පිළිබිඹුව පතිත වන්නට සැලැස්විමේ ක‍්‍රියාවලිය වේ. එහි පතිතවන ආලෝකයෙන් රූපයේ දීප්තිය තීරණය වන නිසා අනාවරණයේ දී ආලෝක පාලනය අවබෝධයෙන් කළ යුතුය. එයට පටල කැමරාවල කාච විවරය සහ කැමරා ද්වාරය භාවිතා වන අතර අංකිත කැමරාවල මීට අමතරව සංවේදකයේ සංවේදීතාව ද ඉවහල් වේ.

  • කාච විවරය /අංකය

           මෙයින් කැමරාව තුළට ආලෝකය ගැනීම පාලනය කරයි. මෙහි විවරය කුඩා වන විට ආලෝකය අඩු වී ක්ෂේත‍්‍ර ගැඹුර වැඩි වේ. විවරය කුඩා කිරීමට f අංක අගය විශාල කිරීමට ද, විවරය විශාල කිරීමට අගය අඩු කිරීමට ද සිදු වේ.
            


  • කැමරා ද්වාරය / Shutter

            මෙය ද ආලෝකය පාලනය කරන්නකි. මෙහි වේගය තත්පරවලින් වේ. මෙය අංකවලින් මෙන්ම අක්ෂරවලින් ද දක්වා ඇත.
        

                 P A T B    30 15 8 4 2 1   0   2 4 8 15 30 60 128 250 500 1000 2000

                               තත්පරය                          තත්පරයෙන් පංගු


 P - අභිමත කාලය (ද්වාරය ඇරිපවතින වේලාව)
 A - අභිමත කාලය විවෘත කිරීම හා වැසීම දෙවතාවක් සිදු වේ.
 T - ස්වයංක‍්‍රීය ද්වාර වේගය.
 B - වැඩසටහන්ගත


මේ ආකාරයට Shutter එක ඇරී පවතින වේලාව අනුව ආලෝකය කැමරාව තුළට පැමිණිම සිදු කරයි. මෙය අනාවරණය වේ. මෙය රූපයේ පැහිදිලි බව හෝ අඳුරු බව තීරණයට වැදගත් වේ. අඳුරු ජායාරූපයක් ගැනීමට නම් මෙය අවශ්‍ය නොවේ. 

           ඒ නිසාම ජායාරූපයක් ගැනිමේ දී මේ පිළිබඳව දැනුවත්ව සිටිම ඉතා වැදගත් වේ.
ජායාරූපගත කිරීමක දී මානනයේ වැදගත්කම

          ජායාරූපගත කිරීමකදී මානනය හෙවත් Aiming යනු රූපය ගන්නා ආකාරය තිරණය කිරීමයි. මේ අනුව පුද්ගලයා ජායාරූපයක් ගැනිමට ප‍්‍රථමව එය ගන්නා ආකාරය සිතා බැලිය යුතුය. මෙය ආකාර දෙකකට සිදු කළ යුතුය. එනම්,

  • කැමරාවේ පිහිටුම
  • කැමරාවේ සිරස්, තිරස් ආනතභාවය


යනාදි යයි.

          කැමරාවේ පිහිටුම යනු දෘෂ්ටි කෝණ යයි. අප ජායාරූපයක් ගැනීමේ දී විවිධ කෝණ භාවිතා වේ. මෙම දෘෂ්ටි කෝණය ජායාරූපයේ සාර්ථක, අසාර්ථක භාවයට බොහෝ සෙයින් බලපෑම් කරන ලද්දකි. මේ අනුව ජායාරූපගත කිරීමක දී ප‍්‍රධාන වශයෙන් කෝණ වර්ග 3ක් පවතී.

  • උස්කෝණි රූප / High Angel 

          උස්කෝණි රූප යනු හොඳින් වටපිටාව ස්ථානගත වන රූප වේ. පිහිටිමක්, සැලැස්මක් පෙන්වීමට මෙම කෝණය බොහෝ විට භාවිත වේ. මෙහි පෙනී සිටින්නා පහළ ද, ජායාරූපය ගන්නා පුද්ගලයා ඉහළ ද සිටී.
උදා- සිතියම්

  • ඇස් මට්ටමේ රූප

          නිතර දකින හුරුපුරුදු රූප ඇස් මට්ටමේ රූප වේ. මිත‍්‍රත්වය. සමානාත්මතාව බඳු රූප මේ ඔස්සේ පෙන්නුම් කරයි. රූපවල අතිශෝක්තියක් නොමැත. මෙහි දී පෙනී සිටින්නා සහ ජායාරූපගත කරන්නා යන දෙදෙනාම එකම මට්ටමේ සිටී.

  • පහත් මට්ටමේ රූප / Low Angel

             මෙහිදී පෙනී සිටින්නා ඉහළ ද. ජායාරූපගත කරන්නා පහළ ද සිටී. අරමුණේ ප‍්‍රතාපවත් බව, හැඩි දැඩි බව පෙන්වීමට මෙම රූප ගනී.
උදා- පිළිම, පිළිරු

යනාදි යයි.


            කැමරාවේ සිරස්, තිරස් ආනතභාවය යනු ජායාරූපය ගැනීමේ දී කැමරාව තබා ගන්නා ආකාර යයි. මෙය රූපයට ගැලපෙන ආකාරයට තබා ගැනීම කළ යුතුය. නැතහොත් අරමුණ විකෘති විය හැකිය.


Wednesday, July 26, 2017

       ජීවිතය 
මිනිස්සු විරහව ගැන
කවි ලියනවා .....
ඒ තරමට ආදරය
ගැන කවි ලියවෙන්නේ නැහැ
නමුත් ලියවෙන කවි ඇතුළත
වේදනාව පමණි .....
මොකද .....
මිනිස්සුන්ට ලැබීම් ගැන
කියනවාට වඩා .....
නොලැබීම් ගැන කියන්න පුලූවන් .....
ඒත් ..... නොලැබීම් ගැන හිතමින්
දුක් වෙනවාට වඩා ලැබීම් 
ගැන සතුටු වෙලා
ජීවත් වීම වැදගත් .....

සබඳ
අතිනත පටලා කෙලි දොළින් ගෙවු
කාලය නිමා විය නොදැනීම ....
නමුත් ඔබත් .... මමත් අදටත් එලෙසමය
ඔබ මට මවකි .... සොයුරියකි ....
යෙහෙළියකි .... ගුරුවරයෙකි ....
විටෙක තරහා වෙමින් .... යහලූ වෙමින්
ගෙවුණු කාලය අදින් නිමා නොවනු 
ඇත ....
නමුත් ඔබ අලූත් සහකුරුවෙකු සමඟ
නව ලොවකට පියනගනු ඇත ....
නමුදු තබා ගන්න මතකයේ
සැමදිනකම ඔබයි මගේ සොහොයුරිය ....
යෙහෙළිය ....

වෙනස
          
          අද මට තියේවි .....
          එත් හෙට නැති වේවි .....
          හෙට උඹට තියේවි .....
          උඹටත් නැති වේවි .....
            සල්ලි .....
          
          අද මට තියේවි .....
          හෙටටත් තියේවි .....
          අද උඹට නැති උනොත් .....
          හෙට උඹත් නැති වේවි .....
             මනුස්සකම .....

Friday, July 21, 2017

ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender)

          ඕනෑම සමාජයක පුද්ගලයින් අතර කුල, ආගමික, ජාතිය, වර්ණ භේදය හා ලිංගිකත්වය ආදිය පදනම් කරගෙන එක් කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායම් විෂම ආකාරයට බෙදා අසමාන ලෙස සැලකීමක් දක්නට ලැබේ. මෙම විෂමතාවන් (Inequality) පදනම්ව සමාජය තුළ සමාජ ස්තරයන් (Social Stratification) ගොඩ නැගේ. මෙවැනි විෂමතා අතර ලිංගික වෙනස අනුව ස්ත‍්‍රීන් හා පුරුෂයින් වෙන් කොට දැක්වේ. මෙම බෙදීම තිබිරි ගෙය තුළදීම සිදු කරනු ලබයි. මෙය ජීව විද්‍යාත්මක බෙදීමක් වන අතර සත්වයාගේ පැවැත්මට ද උපකාරී වේ. ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ශාරීරික වෙනසක් පවතී. ඒ අනුව ජීව විද්‍යාත්මක ( Biologicalලක්ෂණ තුළින් මොවුන් වෙන්ව හඳුනා ගනී. මේ තත්වය ප‍්‍රජනන කාර්යයයේදී මුලිත වේ. මෙලෙස ලිංගිකත්වය (Sex) යන්න ජීව විද්‍යාත්මක සහ ශාරීරික ලක්ෂණවලින් සමන්විතය.
          
             ලිංගිකත්වය ජීව විද්‍යාත්මක වන නමුත් ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender) සාමාජීය හා සංස්කෘතික සාධක අනුව තීරණය වේ. මෙහිදී ජීව විද්‍යාත්මක සාධකවලට වඩා ඒ ඒ සමාජයන් විසින් පුද්ගලයන්ට පවරා ඇති ස්ත‍්‍රී - පුරුෂ චරිත ස්වභාවයන් වැදගත් වේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ කාර්යයභාරයන් (Gender Role) සමාජයෙන් සමාජයට වෙනස් වේ. මෙය පුමිතිරි භාවය ලෙස ද හඳුන්වයි. එනම් එම කාර්යයන් සමාජය හා සංස්කෘතිය විසින් පවරනු ලැබේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක වෙනස මත නොව සමාජය හා සංස්කෘතිය යන සාධක මත ඇති වුවකි. මීට අමතරව සාම්ප‍්‍රදායික විශ්වාස ද බලපෑම් කළ හැකිය.

          ලංකාව තුළ ගැහැණු දරුවෙකුගේ උපතට එතරම් කැමැත්තක් නොමැති අතර, පිරිමි දරුවෙකුගේ උපත සතුටට කරුණකි. මේ වෙනස දරුවන් වර්ධනයේ දී පවා අවධානයට ලක් වේ. ලිංගිකත්වය පදනම්ව සමාජානුයෝජන ක‍්‍රියාවලිය ද තීරණය වේ. මෙහිදී ගැහැණු දරුවන් ස්ත‍්‍රී ගති ලක්ෂණ අභ්‍යන්තරීකරණය කර ගන්නා අතර පිරිමි දරුවා පිරිමි ගති ලක්ෂණ හුරු කොට ගනී. මෙහි වගකීම පිළිවෙලින් මවට සහ පියාට පැවරේ. සංස්කෘතිය තුළින් ස්ත‍්‍රී - පුරුෂ චර්යා රටාවන් ගැන අදහසක් ලබා දේ. මෙය සමාජයෙන් සමාජයට ස්ත‍්‍රී - පුරුෂයන්ගේ ස්වභාවය අනුව වෙනස් වේ. ඒ නිසා බොහෝ සමාජ වල ස්ත‍්‍රී - පුරුෂ විෂමතාවයන් සමාජය තුළින් ඉස්මතු කොට ඇත. මෙය පදනම්ව මිනිසුන් අතර විඥානිකව හෝ අවිඥානිකව එම වෙනස්කම් අභ්‍යන්තරීකරණය කර ගනී. කුල, පංති, ජනවර්ග, වර්ණ භේදය, ආගමික වශයෙන් වෙන්ව හඳුනා ගන්නවා මෙන්ම ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ද වෙනස්කම් පදනම් කරගෙන ඉහළ පහළ තත්වයන් යටතේ ස්තරගත කිරීමක් දක්නට ලැබේ.

          මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක සාදක පදනම් කර ගෙන පවතින්නක් නොවන බවට පැහැදිලිය. මේ පිළිබඳව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය හා ඒ හා සම්බන්ධ මානසික හා සංස්කෘතික ලක්ෂණ ගැන පර්යේෂණ පැවැත් වු මානව විද්‍යාඥවරියක වන මාග‍්‍රට් මීඞ් (Margaret Mead) පෙන්වා දී ඇත. ඇය මේ පිළිබඳව නිව්ගිනියාවේ ගෝත‍්‍රික කණ්ඩායම් තුනක් ආශ‍්‍රීත ස්ත‍්‍රී - පුරුෂ කාර්යයන් ගැන අවධානය යොමු කරමින් පහදා දී ඇත. ඒ 

                 x අරපේෂ් (Arapesh)
                 x මුන්ඩුගුමාර් (Mundugomor)
                 x චම්බුල් (Thehambuli)

යන ගෝත‍්‍රයි. මෙයින් ඇය පෙන්වා දී ඇත්තේ කිසියම් සමාජයක පුරුෂයින් තුළ දැකිය හැකි පුරුෂයින්ගේ ලක්ෂණ යැයි පෙන්වා දෙන ලක්ෂණ තවත් සමාජයක ස්ත‍්‍රීන් තුළ දක්නට ලැබෙන බවයි.

          අරපේෂ් ගෝත‍්‍රයේ ස්ත‍්‍රීන් හා පුරුෂයින් තුළ දැකිය හැක්කේ සාමකාමී, ඉවසා සිටිමේ ගති ගුණයි. ඔවුන් අතර වෛරී ගුණ නොමැත. සහජීවනයෙන් යුක්තව ජීවත් වේ. ස්ත‍්‍රී - පුරුෂ භේදයෙන් තොරව කරුණාවන්ත මාතෘ ලක්ෂණ මොවුන් තුළ විය. මෙය ස්ත‍්‍රී ස්වභාවය වුව ද දෙපාර්ශවය තුළම වු බැවින් සමාන ලක්ෂණ සහිතය.

          මුන්ඩුගුමාර් පිරිස අරපේෂ් ගෝත‍්‍රයට වඩා වෙනස්ය. රණකාමී මොවුන් දෙපාර්ශවය තුළම තරඟකාරීත්වයක් සහ ආක‍්‍රමණශීලිත්වයක් පැවතිණි. සහයෝගයක් නොවු අතර දෙපිරිසම සැඩ පරුෂ ලක්ෂණ වලින් යුක්තය. කාන්තාවන් ද පිරිමින් මෙන් ගස් නැගීම, සතුන් පසු පස හඹා යාම, දඩයම සිදු කරන්නට විය. ඒ නිසාම කාන්තාවන්ට ද පිරිමින් මෙන් හැඩි දැඩි ශරීරයක් විය. මෙය පිරිමි ගති ලක්ෂණයක් වුව ද කාන්තාවන් තුළ ද පැවතිණි.

          චම්බුලි ගෝත‍්‍රය මාතෘ මුලික එකකි. මෙහි කාන්තාව වැදගත් වු අතර ගෝත‍්‍රයේ නායිකාව ද කාන්තාවක් විය. ඇය යටතේ පවුල පැවතුණි. පවුලට ප‍්‍රධාන ආදායම් උපයන්නිය ද ඇයයි. මසුන් මැරීම, දඩයම ඇයගේ කාර්යයන් විය. පරම්පරා උරුමය ද මාතෘ කේන්ද්‍රීයව සිදු විය. මේ අනුව අප සමාජයේ පිරිමින් කරනු ලබන කාර්යය යැයි සැලකෙන දේ මේ ගෝත‍්‍රය තුළ කාන්තාවන් සිදු කරන්නට විය. පුරුෂයින්ගේ කාර්යය වුයේ ගෘහ පාලනය හා සම්බන්ධ ඒවාය. ඒ අනුව මේ තුළ කාන්තා හා පිරිමි ගති අන්‍යෝනය වශයෙන් මාරුවීමක් දක්නට ලැබේ.

        මින් පැහැදිලි වන්නේ ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය සමාජයෙන් සමාජයට වෙනස් වන බවයි. පොදු වුවක් නම් ලොව සියලූ ස්ත‍්‍රීන්ට එක සමාන විය යුතුය. නමුත් කාන්තා හා පිරිමි කාර්යයන් වෙනස් වන්නේ එම සමාජයේ සංස්කෘතිය හා සාමාජීය ලක්ෂණ මතය. දකුණු ආසියාතික රටවල කාන්තාවන් සමාජයේ දෙවන පංතියේ වරප‍්‍රසාද භූක්ති විදී. බටහිර යුරෝපීය රටවල පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන් සම මට්ටමේ වරප‍්‍රසාද ලබන අතර මාතෘ මුලික සමාජ ලෙස සලකන සමාජ වල කාන්තාවන්ගේ සමාජ මට්ටම් ඉහළ තත්වයක රැදී ඇත. 

Tuesday, July 18, 2017

කි‍්‍රකට් ලොව හොල්ලන කෙල්ලෝ

             කි‍්‍රකට් කිව්වොත් අපි කාගේත් මතකයට නැගෙන්නේ මාස්ටර් බ්ලාස්ටර්, සංගා, මහේල, කෝලි, දෝණි, ගේල් වගේ සුපිරි තරු පමණකි. නමුත් අද මේ සුපිරි තරුවලට තරු විසිවෙන්න වැඩ පෙන්නවපු ලෝක ක‍්‍රිකට් තාරකාවියනුත් ඉන්නවා. මේ තාරකාවියන් ගැන විවිධ පුවත් මේ දවස් වල එංගලන්තය පැත්තෙන් ඇහෙනවා. මේ ඒ තාරකාවියන් අතරින් හොඳම කණ්ඩායම් පහ ගැන පුංචි විස්තරයක්.

01. කැන්ගරු කෙල්ලෝ
           හොඳ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම් පහ අතර පළමු තැන හිමි වන්නේ මේ කණ්ඩායමට. කැන්ගරු රටේ හෙවත් ඔස්ටේ‍්‍රලියාවේ තමයි මේ කෙල්ලෝ ටික ඉන්නේ. කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලානය සය වරක් මේ කණ්ඩායම දිනාගෙන තියෙනවා. මේ කෙල්ලන්ට ක‍්‍රිකට් කැන්ගරු කොල්ලන්ට සමාන තැනක් මේ රටේ තියෙනවා. මොවුන් අතරින් වැඩි පිරිසක් තුන් ඉරියව් කි‍්‍රඩිකාවන්. එමෙන්ම ලොව සමගි සම්පන්නම කි‍්‍රකට් කෙල්ලෝ මේ පිරිස මොවුන්.

02. එංගලන්ත වීරවරියෝ
       ලෝක කාන්තා කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින්නේ හිරු නොබසින අධිරාජ්‍යයේ කෙල්ලෝ ටික.  ඕනෑම වේලාවක තරඟයක ඉරණම වෙනස් කිරීමේ හැකියාව මොවුන්ට ඇති බව පිළිගැනිමයි. එංගලන්තයේ මේ කෙල්ලෝ එකොළොස්දෙනා දැනට තුන් වතාවක් ලෝක කුසලානය සිය රටට රැුගෙන ගොස් තියෙනවා.

03. කලූ තොප්පිකාරීයෝ
            කාන්තා ක‍්‍රිකට් ශේ‍්‍රණිගත කිරීම් වල තුන්වන තැන හිමිවන්නේ මේ කණ්ඩායමට. 2000 වසරේ ලෝක කුසලානය තමා සතු කර ගැනීමට මේ කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙවර ලෝක කුසලානයේ දී කැපී පෙනෙන කණ්ඩායමක් බවට මොවුන් පත් වී සිටියා. විශේෂයෙන් සෑම තරඟයකදීම මේ කණ්ඩායමේ නායිකාව වන සුසී මාධ්‍යයට අදහස් දැක් වු ආකාරය කාගේත් කතා බහට ලක් වුණා.

04. ඉන්දියානු කෙල්ලෝ
            ශ්‍රේණිගත කිරීම්වල සිව්වන තැන සිටින්නේ ඉන්දීය පිළයි. නමුත් විනීත භාවය අතින් අවම කාන්තා පිළ ලෙස සැලකෙන්නේ මේ පිරිසයි. ඊට හේතුව බොහෝ තරඟවල දී ඔවුන් ප‍්‍රතිවාදී කණ්ඩායම් සමඟ ආරවුල් ඇති කර ගැනීමයි. මේ පිළේ උපරිම දක්ෂතාවය ලෙස 2005 වසරේ දී ලෝක කුසලානයේ අනුශුරියන් බවට පත් වීමට හැකියාව ලැබුණා.

05. දකුණු අප‍්‍රිකානු සිස්ටර්ස්
          මේ අය ඩිවලියර්ස් සිස්ටර්ස් ලෙස හඳුන්වනවා. එසේ හඳුන්වන්නේ ඩිවලියර්ස් වරක් ඔවුන් මගේ පුංචි සහෝදරියන් වගේ ඇයි පවසා ඇති නිසාය. ලෝක කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් අතර හොඳම වේග පන්දු යවන්නියන් සිටින්නේ දකුණු අප‍්‍රිකාවටයි. එමෙන්ම මේ පිළේ නායිකාව ක‍්‍රිකට් ලොව ලැබු දියමන්ති ආකරයක් ලෙස සැලකෙනවා.

           




             මේ පහට අමතරව හයවන, හත්වන සහ අටවන ස්ථානයේ පිළිවෙලින් ඉන්දීය කොදෙව් පිළ, ශ‍්‍රී ලංකා පිළ සහ පාකිස්ථානු පිළ රැුඳී සිටිනවා.

Thursday, July 13, 2017

හුදෙකලාවේ සීතල තැනිතලාව
          නුවරඑළිය කියු සැනින් අපේ මතකයට නැගෙන්නේ දැඩි සීතලක්, කඳුවලින් ගහනය වු මනස්කාන්ත පරිසරයකි. කෙසේ නමුත් නුවරඑළියේ යන  ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම ගමන් කළ යුතුම ස්ථානයක් වශයෙන් ලෝකාන්තය දැක්විය හැකිය. මක් නිසාද යත් කඳු අතර පිහිටි උස් සම භූමියක් (සානුවක) මැඳින්, සීතල සුළඟක්, එම පරිසරයටම ආවේණික සතුන් හා ශාකවලින් පිරි මනස්කාන්ත තැනිතලාවක් හරහා ලෝකාන්තයට යන පාර වැටි තිබිම නිසාය. එමෙන්ම ලෝකාන්තය සොයා යන  ඕනෑම කෙනෙකුට අප රටේ වෙනත් කිසිම පරිසර පද්ධතියකින් හමුනොවුනු අපුර්ව සුන්දරත්වයකින් යුත් සුන්දර තැනිතලාවක් හමුවෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුත් වු සුන්දර නුවරඑළියේ පිහිටි එකම වනෝද්‍යානය හෝර්ටන් තැන්නයි. 

          ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි වනෝද්‍යානයක් වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1200 - 2300 පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි හෝර්ටන්තැන්න හෙක්ටයාර් 3160ක් පුරා විහිදි පවතියි. නුවරඑළියේ සිට මීපිලමාන, අඹේවෙල, පට්ටිපොළ හරහා කීලෝමීටර් 32ක් ගිය පසු හෝර්ටන්තැන්න හමුවේ. මෙය මුල් කාලයේ දී මහඑළිය නමින් හඳුන්වා ඇත. මෙයට හේතු වී ඇත්තේ රාවණා රජු සීතා දේවියව පැහැරගෙන පැමිණ තම දඩුමොණරය ගොඩබැස්සවු ප‍්‍රදේශය තොටුපළ කන්ද ලෙස ද, ඒ ගොඩබැස්ස වීමෙදී නිකුත් වු ආලෝකධාරාව නිසා මහඑළිය නම් වු බවයි. 1920 දශකයේ ඉංග‍්‍රීසී ජාතික කපිතාන් විළියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් මුලින්ම හෝර්ටන්තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝර්ටන්තැන්න යන නාමය ලැබි ඇත්තේ ශ‍්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදී.

          මෙයට විශාල දේශීය, විසේශීය සංචාරකයන් විශාල ප‍්‍රමාණයක් පැමිණේ. මෙහි කාලගුණය ක්ෂණිකයෙන් වෙනස් වේ. ඒ නිසා එම කාලගුණ වෙනස්කම් වලට මුහුණ දීමට සුදානම්ව යා යුතුය. එමෙන්ම එහි රාත‍්‍රිය ගත කිරීමට (කඳවුරු ගසා* යනවා නම් මාසෙකට කලින් බත්තරමුල්ලේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවෙන් වෙන් කරවා ගැනීමට සිදුවේ.   

          මහවැලි, කැලණි හා වළවේ යන ප‍්‍රධාන ගංඟා ත‍්‍රිත්වයේ ජලපෝෂක ප‍්‍රදේශයක් වන හෝර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් ද පෝෂණය කෙරේ. වන උයන් අතරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ ද හෝර්ටන් තැන්නටය. මෙහි එන සංචාරකයන්ගේ අවධානය දිනාගත් ස්ථාන අතරින් ලෝකාන්තයෙන් විශේෂය. මීටර් 870ක් වු දැඩි බෑවුමක පිහිටි මෙය අපුර්වත්වය සමඟ බිය දනවන තැනකි. පහත බලන විට මීදුමෙන් තොර කාලගුණයක් පැවතුණහොත් ඔබ වාසනාවන්තය. ඒ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සිට සබරගමු පළාතේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ, බලංගොඩ නන්පෙරියල් වතු යාය දැක ගැනීමට හැකි වන නිසාය. 

          උසින් මිටර් 270ක් වු කුඩා ලෝකාන්තය ද මෙහි අසිරිය තව තවත් වැඩි කරනු ලබයි. මහා ලෝකාන්තයේ ප‍්‍රමාණයෙන් තුන් ගුණයකට වඩා කුඩා මෙහි ප‍්‍රපාතය ශ‍්‍රී ලංකාවේ ගිනිනොණ දිශාව තෙක් පැතිරි යයි. ලෝකාන්තයත්, කුඩා ලෝකාන්තයත් අතර දුර කීලෝමීටර 5ක් පමණ වේ.

          වලාකුලූ වනාන්තර තුළ සිදුවන ක‍්‍රියාදාමය නිරීක්ෂණය කිරීමට ලෝකාන්තය වටා වන පියස සුන්දර අවස්ථාවකි. වලාකුලූ ඉතා උස් වු කඳු මුදුන් ඇති තැනකදී කඳු ආවරණය කර ගනිමින් බොහෝ විට සවස් කාලයේ දී වැසි ඇති කරයි. නමුත් ශාක සහිත පරිසරයක දී මෙම වලාකුලූ ශාක සමග ගැටීමෙන් ජල බිංදු වෑස්සීමක් සිදු කරයි. ඇතැම් ප‍්‍රදේශවලට මෙය වර්ෂාපතනයෙන් ලැබෙන ජල ප‍්‍රමාණයටත් වඩා අධිත විම ද විශේෂත්වයකි. වර්ෂාව නොතිබුණ ද පොළව තෙමි මඩවන තරමට එය තෙත බරින් නැහැවී පවතී.

          මෙම පරිසරය විශාල විශයෙන් ජෛව විවිධත්වයෙන් යුතුය. 1992 දී කළ පර්යේෂණ වලට අනුව මෙහි ශාක විශේෂ 101ක් පමණ ඇත. ඉන් 49ක්ම ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික ඒවා වේ. බහුතරය හෝර්ටන් තැන්නටම පමණක් ආවේණික වු ශාක විශේෂයන්ය. සේශීය ශාක අතරින් කුඩාම වර්ගයේ උණ විශේෂයක් වන කුරු උණ ගස් පරිසරයට අලංකාරයක් මෙන්ම එහි සුන්දරත්වය ඔප්නංවන ගෝනුනුහට ප‍්‍රණීත ආහාරයකි. මේ තුළ දැකිය හැකි මහා රත්මල හෙවත් අශෝක ශාකය විශේෂ වේ. එය හෝර්ටන් තැන්නට ගෙන දෙන්නේ අමුතුම සුන්දරත්වයකි. ශ‍්‍රී ලංකාවටම ආවේණික සිතැසියා නැමැති පක්ෂියෙකු මඟින් මෙම මල් පරාගණය සිදු කරයි. එමෙන්ම මේ පුෂ්පය මධ්‍යම පළාත් පුෂ්පය ලෙස ද පිළිගැනේ. 

          මෙහි පක්ෂීන් විශේෂ 98ක් ද, ක්ෂීරපායින් විශේෂ 14ක් ද, උභය ජීවින් විශේෂ 16-20ක් පමණ ද, සමනල විශේෂ 40ක් පමණ ද දැකගත හැකිය. 
         එමෙන්ම සුන්දර සිය ඇලි කිහිපයක් ද මේ තුළ දැක ගත හැකිය. ඒ අතරින් වන ලැහැබ තුළ පිහිටි මීටර් 19ක් පමණ උසැති බේකර්ස් ඇල්ල ඉතා අලංකාරවත් ලෙස ඇඳ හැලේ. ගෝනුනු, මුවන්, ලේනුන්, ඌරන් වැනි සතුන් ද, කුඩා පක්ෂීන් මෙන්ම ජලජ ජීවින්ගෙන් ද මේ පරිසරය පරිපුර්ණය. 

         මෙහි වනාන්තර කුරු වනාන්තරවල ස්වභාවය දරයි. එසේ වී ඇත්තේ එම ප‍්‍රදේශවල පවතින දැඩි සුළඟට ඔරෝත්තු දිය හැකි වන පරිදිය. මෙහි ශාක සාමාන්‍යයෙන් මීටර 12-15ක් පමණ උසට වැඩෙන අතර ගස් මුදුන කූඩයක හැඩයක් ගනු ලබයි.

      මෙසේ ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් වු සොබා දහමේ අපුර්ව දායාදයක් මෙන්ම ලෝක උරුමයක් ද වන හෝර්ටන් තැන්න රැුක ගැනීම පරිසර හිතකාමී අප කාගෙත් වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ.








Wednesday, July 12, 2017



රටා මවයි


හැකිනම් තේරුම් ගන්නට .....
ජීවිතේ රටාවන් .....
දැනේවි .....
විශ්වයේ රටාවම .....
රටාවක් බව .....


ජීවන බර


කරදිය ගැඹුරේ
තුන්යම ගෙවුණේ
දරන්න මේ ජීවිත .....
පොර බඳිමින්
මහ සයුර මැද .....
උසුලනා බර
හැකිද නගන්නට
වචනයට .....



සෙවනැල්ල
විෂම ලෝකය තුළ
සියල්ලන්ටම උරුම .....
ලොවම හැරදමා ගියද,
අපව හැරදමා නොයන .....
දිනකට දෙවරක් සැඟවෙන .....
සෙවනැල්ල .....

Tuesday, July 11, 2017



සඳහම් සිත
අහස් ගැබ පරයා
නැගෙන .....

සුදෝ සුදුවන් ස්තූප .....
අදටත්,
බුදු දහමේ පැවැත්ම .....
තහවුරු කරයි.


නොවිසඳුන අභිරහස

          ලොව තවමත් නොවිසඳුන අභිරහස් සිය ගණනක් පවතී. මේ අතරින් එකක් ලෙස බර්මියුඩා ත‍්‍රිකෝණය දැක්විය හැකිය. යක්ෂයාගේ ත‍්‍රිකෝණය ලෙස හඳුන්වන මෙය වර්ග සැතපුම් 500000ට පුරා පැතිර පවතී. පවටෝ රිකේ දිවයිනත්, ඇමරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දුපතත් එකිනෙකට යා කිරීමෙන් ත‍්‍රිකෝණයක් සෑදේ. මෙම කලාපය බර්මියුඩා ත‍්‍රිකෝණය ලෙස සැලකේ.


           අදටත් නොවිසඳුන අභිරහසක් වන බර්මියුඩා ත‍්‍රිකෝණය කලාපය තුළ අතුරුදහන්ව ඇති නෞකා, ගුවන් යානා ගණන සිය ගණනකි. එනම් 1945 සිට නෞකා 250, ගුවන් යානා 300කි. ක‍්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් පළමුවරට මෙම කලාපය තුළ යම් වෙනසක් ඇති බව සඳහන් කරන්නට විය. ඒ නව ලොවක් සොයා යන ප‍්‍රථම නාවුක ගමනේ දීය. ඔහු පවසන අන්දමට වරක මෙම ප‍්‍රදේශයේ විශාල ගිනි ජාලාවක් මුහුදට කඩා වැටෙනු දුටු බවත් ඊට සති කිහිපයකට පසුව විශාල අත්භූත ආලෝක දුටු බවත් ඔහු සඳහන් කර ඇත. තවද මෙම ප‍්‍රදේශයේ මාලිමා යන්ත‍්‍ර වල අසාමාන්‍ය කියවීමක් ඇති බවත් ඔහු ප‍්‍රකාශකරන ලදී.

          කෙසේ නමුත් බර්මියුඩා කලාපයේ අභිරහස පිළිබඳ මුලූ ලෝකයේම අවධානව යොමු වුයේ 1918 මාර්තු මස මැන්ගනීස් ලෝහ පස් ටොන් 10000ත් පමණ පටවා ගත් USS Cyclops  නම් ඇමරිකානු නෞකාව ජනතාව 300ක් සමග මෙම කලාපයේ දී අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමඟය.

          කෙසේ නමුත් මෙම කලාපය තුළ අතුරුදහන් වන යානා වලට සිදුවන්නේ කුමක් දැයි අදටත් නිශ්චිතවම කිසිවෙකුටවත් කිව නොහැකි වී ඇත. මෙම යානා අතුරුදහන් වීමට විවිධ හේතු ප‍්‍රකාශ කල ද මේ සියල්ලක්ම පාහේ අනුමානයක් පමණි. මිහිතලයෙන් ඈත එපිට ලෝකවල සිදුවන දේ පවා පරීක්ෂා කරන විද්‍යාඥයන්ට මෙම බර්මියුඩා ත‍්‍රිකෝ අභිරහස විසඳීමට අදටද හැකියාවක් ලැබී නොමැත. මක් නිසාද යත් මෙම කලාපයට ඇතුලූ වී පිටතට පැමිණිමට අදටත් කිසිවෙකු සමත්ව කොමැති නිසාය.


          මෙම කලාපය තුළ සිදුවන අතුරුදහන් වීම් වලට ඉදිරිපත් කර ඇති මත කහිපයක් මෙසේය.

1. සජල මීතේන් සිද්ධාන්තය.
          මෙම ත‍්‍රිකෝණය ආශ‍්‍රීත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මේවා වායු මලූ ආකාරයට තැන්පත් වී ඇත. ඇතැම් විට අධික පීඩනය හේතුවෙන් මෙම වායු මලූ පිපිරි මීතේන් විශාල වශයෙන් මුහදු ජලය හා මිශ‍්‍ර වේ. මේ නිසා ඒ ප‍්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත‍්‍රා කරන  ඕනෑම නෞකාවක් තත්පර 10ට අඩු කාලයක දී ගිලි යා හැක. එමෙන්ම මේ වායුව වාතය හා මිශ‍්‍ර විමෙන් වායුගෝලයේ ඝනත්වය අඩු වී අහසේ පියාසර කරන ගුවන් යානා ද කඩා වැටේ.

2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය.
          ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත‍්‍රිකෝණයේ කොටසක් හරහා වැටි තිබේ. මේ අනුව මේ මතය දරන්නන්ගේ අදහස වනුයේ යම් යම් හේතූන් නිසා කඩා වැටෙන නෞකා, ගුවන් යානා වල කොටස් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප‍්‍රදේශයන් වෙත ගසා ගෙන යන බවයි.

3. රෝග් දිය රැුළි සිද්ධාන්තය.
          ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විශාල ගණයේ දිය රැුළි විශේෂයකි. මේවා ක්ෂණිකව ඇති වී ඊළඟ නිමේෂයේ නැති වී යයි. මේවාට හසු වන  ඕනෑම ප‍්‍රමාණයක නැවක් සුලූ මොහොතක දී කිසිදු සලකුණක් ඉතිරි නොකොට මුහුදු බත් විය හැකිය.

4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය.
          බර්මියුඩාව ආශ‍්‍රීතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. මේවාට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ කේදජනක ඉරණමකි.

5. චුම්බක ක්ෂේත‍්‍ර බලපෑම් සිද්ධාන්තය.
          පෘතුවිය සතුව ඇති චුම්බක ක්ෂේත‍්‍රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බකය උතුරට දීශාගත වී පැවතණ ද ඇතැම් විට භෞතික හේතු නිසා දීශාව වෙනස් වේ. මේ තත්වය බර්මියුඩාව ආශ‍්‍රීතව ද දැකිය හැකිය. මේ නිසා දීශාව සොයා ගැනීමට නොහැකිව නෞකා හා ගුවන් යානා මංමුළා වන බවත් ඇතැමුන් පෙන්වා දෙනු ලැබේ.

6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය.
          මෙය තරමත් පිළිගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේ ඉතා දියුණූ ශීෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා මුහුදු බත් වී ඇත. මේ මතය දරන්නන්ගේ අදහස වනුයේ මේ ශීෂ්ටාචාරය මුහුදු බත් වුව ද දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත්තන් සිටින බවයි. ඒ අනුව ඔවුන්ගේ ශීෂ්ටාචාරය මුහුදු පත්ලේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. මොවුන් වර්තමාන මිනිස් දැනුම අභිබවා ගොස් ඇති නිසා මෙම නෞකා හා ගුවන් යානා අතුරුදහන් වීම පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවයි.

7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය
          කාලය හා අවකාශය හරහා ගමන් කළ හැකි නළයක් හැඩැති මාර්ගයක් පවතී. මේවා පණු කුහර වේ. මෙවැනි නළයක දෙපස විවර දෙකකි. එක විවරයකින් ඇතුලූ වු විට පිට වන්නේ අනෙක් විවරයෙනි. මෙයට විශාල කාලයක් ගත වේ. එලෙස පණු කුහරය හරහා ගමන් කිරීමේ දී ඔබ විසින් කාලය හෝ අවකාශය තරණය කොට ඇත.

          මෙලෙස එකිනෙකා විවිධාකාර මත ඵලකලද අදටත් බර්මියුඩා ති‍්‍රකෝණයේ දී මුහුදු නෞකා හා ගුවන් යානා අතුරුදහන් වීමට බලපෑ හේතුව පිළිබඳව සාධාරණ තොරතුරක් කිසිවෙකුත් පෙන්වා දී නොමැත. මෙම අත්භූත ත‍්‍රිකෝණය වටා ගෙතී ඇති කටකතා ඇතැම් විට මායාකරුවන්ගේ කතාන්දර තරමටම රසවත් වන අතර ඇතැම් ඒවා ත‍්‍රාසයෙන්, භීතියෙන් මුසපත් කරන කතාය. කෙසේ වුවත් මෙම කලාපය තුළ සිදුවන සිදුවීම් අහඹුවක් හෝ කට කතාවක් ලෙස සිතා ඉවත හෙලිය නොහැක. මක් නිසා ද යත් දිගින් දිගටම යානා අතුරුදහන් වන බැවිනි. මේවා මිනිස් ජීවිත සමඟම අභිරහසක් බවට පත්ව ඇත.

          මෙම කලාපය අභිරහස හේතුවෙන්ම ඇතැම් රටවල් වල නාවුක ගමන්, ගුවන් ගමන්පවා මේ ආසන්නයෙන් යෑම තහනම් කර ඇත. එමෙන්ම ඇතැම් රක්ෂණ ආයතන පවා මේ හරහා යන නෞකා හා ගුවන් යානාවලට රක්ෂණයක් ලබා දීම පවා අත්හිටුවා ඇත.

           

මේ අයුරින් බලනකල බර්මියුඩාවේ අභිරහස විසඳීම අනාගත විද්‍යාඥ පරපුරට භාරයි.


Wednesday, July 5, 2017

සුන්දර නිවාඩුවක් ගත කරන්ඩ යමුද?

          නිවාඩු කාලයට ඔයාලා කොහේ හරි යන්ඩ හිතාගෙන ඉන්නවා ද? එහෙම හිතා ගෙන ඉන්න ඔයාලට නිවාඩුවක් ගත කරන්න හොඳ ස්ථාන කිහිපයක් ගැන තමයි මම ඔයාලට කියන්ඩ යන්නේ. හොඳ හැටි හයික්න්ග්, කෑම්පින්ග් කරන්නත් මේ තැන් හොඳයි. ඒ වාගේම මේ තැන්වලට ගියහම ගැමි සුන්දරත්වය, ගැමි ජීවන රටාව අත්විඳින්න, ගමේ රහට කෑම කන්නත් පුලූවන්. 

01. මීමුරේ
          මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති දුෂ්කර ගමකි. නුවර - මහියංගනය ප‍්‍රධාන මාර්ගයේ මහියංගනය දෙසට කීලෝමීටර් 43 ක් පමණ ගිය විට නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇති හුන්නස්ගිරිය හමුවෙනවා. හුන්නස්ගිරියෙන් වම්පසට හැරී නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කීලෝමීටර් 36ක් පමණ දුරක් ගිය විට මීමුරේ නම් මේ ගම්මානය දකින්න පුලූවන්. මේ ගම්මානයේ මහා පතාක යෝධයෙකු මෙන් ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය තියෙනවා. ගම ආරක්ෂා කරන දේවතාවෙකු ලෙස තමයි ගම්වැසියන් මේ ගල හඳුන්වන්නේ. මීමුරේ ගම්මානයෙන් තරමක් වනය තුළට යනවිට පහළට ?රා වැටෙන දිය ඇලි ගනණාවක් හමුවෙනවා. ජල ක‍්‍රීඩා කරන්න කැමති අයටත් මේ දිය ඇලි නම් කදිමයි. මේ ගමේ සුන්දරම කාලය වෙන්නේ ජනවාරි සිට මැයි දක්වා කාලය. නමුත් අවුරුද්ද පුරාම සංචාරක පිරිස් මෙහි යනවා. ඒ මේ සුන්දරත්වය විඳගන්න තමයි.

02. උඩවාඩිය
          කඳු මුදුන් වලින් වට වුණ, කන්දක් මැද්දට වෙන්න පිහිටපු ලස්සන ගමක් තමයි උඩවාඩිය කියන්නේ. මෙය පිහිටලා තියෙන්නේ බඳුල්ල දිස්ත‍්‍රික්කයේ. මෙහි ජීවත් වන පුද්ගලයින්ගේ ජීවන රටාව නම් සෑමෙන්න දුෂ්කරයි. මේ ගමට යන්න කීලෝමීටර් 5 ක් පමණ පා ගමනින් යන්න ඔිනේ. ඒ තේ වතු, කැලැ මැද්දෙන්. යන අතරතුර දැනෙන විඩාව නිවා ගන්න නම් තැන් කිහිපයක්ම තියෙනවා. ගල් ගුහා, ගල් තලා දැක ගන්න පුලූවන්. ඒවාගේම මඟ දිගට හම්බ වෙන සුන්දර දර්ශන නිසා විඩාවක් නම් දැනෙන එකක් නැහැ. වතුර වලිනුත් නම් කිසිම අඩුවක් නෑ. ගමනේ අවසානය දකින්න නම් උඩවාඩිය ඇල්ලෙන් හොඳ වතුර ටිකක් නාගන්න  ඕනේ.

03. කයිකාවල
          මේ කියන්නේ නකල්ස් කඳු පන්තියේ තියෙන කයිකාවල ගැන. නුවර මහියංගන පාරේ හුන්නස්ගිරියට ඇවිත් මීමුරේ පාරේ කීලෝ්මීටර් 25 ක් විතර ගිය තැන තමයි මේ ගම හම්බවෙන්නේ. කුඩා වුණත් මුලූමනින්ම ස්වයං පෝෂිත ලස්සන ගම්මානයක් තමයි කයිකාවල කියන්නේ. සුන්දර දිය ඇලි, ඔය පාරවල් මේ ගමේ තියෙනවා. ඒ වාගේම ලංකා ඉතිහාසයට සම්බන්ධ වෙඩි ලූණු ගුහාව තියෙන්නෙත් මේ කිට්ටුව.

04. වල්පොලමුල්ල
          මේ ගමට යන්න මාතලේ රිවර්ස්ටන්වලට යන්න  ඕනේ. ඊට පස්සේ පිටවල, රත්නින්ද, ඇටන්වල, මානිගල ඔස්සේ කීලෝමීටර් 10ක් විතර මේ ගමට යන්න තියෙනවා. වට පිටාවේ සුන්දරත්වය නිසා මේ ගමනේ මහන්සිය නම් දැනෙන එකක් නෑ. ලංකාවේ පොඩිම ගම තමයි වල්පොලමුල්ල. සමහරු මේ ගම ආසියාවෙන් පොඩිම ගම කියලත් කියනවා. දුෂ්කර ගම්මානයත් වුවත් බත, බුලතින් සරුසාර ගමක් තමයි මේ ගම. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානි ගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

05. කොහොනාවල
          ලංකාවට අඩුවෙන්ම ඉර එළිව වැටෙන ගම තමයි මේ කොහොනාවල කියන්නේ. පිහිටලා තියෙන්නේ බදුල්ල, පස්සර, මඩොල්සීම ගමේ ඉඳන් කීලෝමීටර් 8 - 9 ක් විතර කැළේ ඇතුළට වෙන්න. මේ ගම මුලූමනින්ම වට වේලා තියෙන්නේ කඳුවලින්. ඒ නිසා හොඳට පායන කාලයට පවා ඉර එළිය වැටෙන්නේ පැය 6ක්, 8ක් වගේ කාලයක්. මේ ගමේ අය ගෙවන ජීවන රටාව නම් හරිම දුෂ්කරයි.

06. ලංකාගම
           සිංහරාජ මායිමේ තියෙන හැංගුණු තවත් ලස්සන ගම්මානයක්. ගාල්ල නෙලූවට ගිහින් කොස්මුල්ල ඔස්සේ කැලේ මැදින් පාරක තමයි මේ ගමට යන්න තියෙන්නේ. කීලෝමීටර් 3 - 4ක් විතර යන්න තියෙනවා. ගිං ගං මිටියාවතේ පිහිටි මේ ගම මුලූමනින්ම ස්වයං පෝෂිතයි. මේ ගම වටේම දිය ඇලි, ගල් තලා දැකගන්න පුලූවන්. ලස්සන දුවිලි ඇල්ලක් ද තියෙනවා. ඒ වාගේම බ‍්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටෙන ඇල්ල, ගල් ඔරුව ඇල්ල, තට්ටු ඇල්ල වගේ දිය ඇලි තියෙනවා. හැබැයි වැස්ස කාලෙට මෙහෙ යන අයට කූඩැල්ලන්ගෙන් නම් ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා.

07. ගලමුදුන ගම
            හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තේ තියෙන ගලමුදුන ගම ගැන තමයි මම මේ කියන්න හදන්නේ. උඩුදුම්බරින් තල්ගුණේ, හුලූගලට ගිහින් එතනින් උඩගල් දෙබොක්කට යන්න  ඕනේ. එතන ඉඳලත් කීලෝමීටර් 2 - 3ක් ගියාහම තමයි මේ ගම හමුවන්නේ. නකල්ස් කඳු පන්තියේ එක බෑවුමක් තමයි මේ ප‍්‍රදේශය. මේ ගමේ ජීවන රටාව නම් ටිකක් දුෂ්කර වුණත් ගමේ පිරිස නම් ඉන්නේ හරිම සතුටින්. ඒ වුණාට බත බුලතින් නම් සරු සාරයි. කඳු පන්තිවලින් මෙන්ම දිය ඇලි වලිනුත් මේ ගම සුන්දර කරනවා. මේ ගම්මානය උදේට වාගේම සවස් කාලයටත් හරිම ලස්සනයි. ලකේගල, යහන්ගල, කුවේණිගල වගේ කඳුවලිනුත් මේ ගම තව තවත් ලස්සන කරනවා. ගම මැදින් ගලා යන හීන් ගඟත් ගමට සුන්දරත්වයක් එක් කරනවා.
ඉතින් යාලූවනේ ඉදිරි නිවාඩු කාලවල ඔයාලාත් මේ ගම්මානවල සුන්දරත්වය විඳින්න යනවා නම් ගමේ පරිසරයට නම් හානි කරන්න එපා. ඒ වාගේම අනාගත පරපුරටත් මේ ගැමි සුන්දරත්වය විඳගන්න රැුතගන්න කියලා තමයි කියන්න ඔයාලාගෙන් ඉල්ලන්න තියෙන්නේ. 

Monday, June 26, 2017

යථාර්ථය

දකින මතුපිට සුන්දරය .....
නමුත් .....
දිය දහරකට අවශ්‍ය
ගලායන්න ......
එසේ නම්,
සිරකරගත්
දිය දහර තුළ .....
යථාර්ථයෙන්ම,
සුන්දරත්වයක් තිබේද?


තාරුණ්‍ය



විටෙක දඩබ්බරය,
තවත් විටෙක නිස්කලංකය .....
සයුරත් .....
තාරුණ්‍යයත් .....


Sunday, June 25, 2017



චිත‍්‍රපටයේ බිහිවීමට දෘෂ්ටියේ අඛණ්ඩතාවය

          ඡයාරූප ශීල්පය ඉතා පුලූල් ලෙස ව්‍යාප්තියෙන් පසු එම නිශ්චල ඡුායාරූපය චලනය කර ගැනීමේ හැකියාව ගැන සොයා බැලිමේ අවශ්‍යතාවය මතු විය. නිශ්චල ඡයාරූපවල නිශ්චලතාව බිඳ හෙලා වස්තුවක් චලනය වන ස්වභාවය සටහන් කර ගැනීම පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ සිදු විය. නමුත් මේ පිළිබඳ අවධානය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ කාලය තුළ පටන් පැවතුණි. පසුව 17 වන සියවසේ සෙවනැලි නාටක, මැජික් ලන්තෑරුම සොයා ගැනීමත් සමඟ මෙය තව තවත් වර්ධනයට පත් විය. මේ සියලූ දේ පාදක කොට ගනිමින් චිත‍්‍රපටය බිහි විය. 
          ප‍්‍රාග් ඓතිහාසික යුගයේ විසු මානවයා මුලින්ම මෙම චලනය පිළිබඳ යම්තාක් දුරට අවධානය යොමු කොට ඇත. ක‍්‍රි. පු. 2000 පමණ ඈත අතීතයට මෙය දිව යන්නකි. ගුහාවල පියස්සේ සහ බිත්තිවල ඇඳ තිබු රූප සටහන් මෙයට කදිම නිදර්ශනයකි. මෙය ප‍්‍රංශයේ ලැස්කෝස්, ස්පාක්‍ද්ක්‍දයේ අල්තමීරා ගල් ගුහා වලින් පෙනේ. එහි ආදී මානවයා සත්වයෙකුගේ පලායාම සිතුවම් කළේ උගේ පාදවලට ඉදිරියෙන් තවත් පාද යුගල් කිහිපයක් දැමිමෙනි. එවිට පාද අටකින් සත්වයා සමන්විත විය. සමහර විට උල් අවියක් රැුගත් මිනිසෙකු පසු පසින් සටහන් කර තිබුණි. එමඟින් සත්වයා පලා යන බවත් මිනිසා දඩයමක් කරා ලඟා වන බවත් පෙන්වීම අරමුණ විය. මෙය වස්තුවක් චලනයෙහි යෙදෙන බව සටහන් කර තිබු මුල්ම අවස්ථාව විය.

          මනුෂ්‍යයාගේ චින්තන ශක්තිය වැඩෙත්ම වස්තූන්ගේ ක‍්‍රීයාකාරකම් පිළිබඳ බොහෝ අධ්‍යයන කටයුතු කළේය. එක තැනක සටහන් කර තිබු චිත‍්‍ර රූපය ඉන් ඉවත් කර වෙනමම චලනයකට පත් කර ගත හැකි බව මිනිසාට වැටහුණේ ඉන් බොහෝ කාලයකට පසුවයි. ඒ සඳහා ගින්දර මෙන්ම සුර්්‍යා ලෝකය ද ඔවුන්ට උපකාරී වී තිබේ. චිත‍්‍ර රූප වෙනුවට තම සෙවණැල්ල එහා මෙහා චලනය කිරීමේ දී ඇති වන අපුර්වත්වය ගැන සෙවීමට මිනිස් මනස පොළඹවනුයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ආලෝකය ලැබෙන පහනක් ඉදිරියේ සිට දෑත් එක්කර ඇඟිලි චලනය කරමින් විවධ සත්වයන්ගේ හැඩරුව ක‍්‍රමානුකූලව සෙවණැලි රූප මඟින් මැවිය හැකි බව මුලින්ම මැජීක් ශීල්පීන් අත්හදා බැලීය. 19 වන සියවස අවසානයේ බිහි වු සිනමාව සඳහා පුර්ව අත්දැකීම සපයනු ලැබුවේ ”සෙවණැලි නාටක” යි. මුලින් චීනය ආශ‍්‍රයෙන් බිහිවිය. මේවා ”චීන සෙවණැලි නාටක” නම් විය. මේවා පේ‍්‍රක්ෂකයන් සමුහයක් ඉදිරියේ පෙන්වීමට භාවිතා කළේය. මෙයින් කතන්දර කීමට උත්සහා දෑරීය. පසුව මෙය ආසියාව, යුරෝපය ආදීයේ ද පැතිරී ගියේය.

          මිළගට සෙවණැලි රූප චලනය කර ගැනීමේ කලාවේ වැදගත්ම සිද්ධිය ”මැජික් ලන්තැරුමයි”. මෙය සෙවණැලි රූප නැරඹිමේ උපකරණ යයි. 17 වන සියවසේ සාමාන්‍ය ආලෝක උපකරණයක් වු ලන්තෑරුමක් නැතහොත් පහනක් භාවිතා කර අතින් අඳින ලද රූපයක් බිත්තියක් මතට පතිත කර ගැනීමේ අදහස ආශ‍්‍රයෙන් බිහි විය. මේ පහනක් ඉදිරියෙන් කාචයත් භාවිතා කර එය ”මැජීක් ලන්තෑරුම” ලෙස නම් කළේය. මෙය සිනමාව බිහිවීමට පෙර පුර්ව අවධියේ මුල්ම ප‍්‍රක්ෂේපකය හඳුනාගත් අවස්ථාවයි. එයින් ඉදිරිපත් වු දර්ශන මායාමය සෙවණැලි නැරඹීම ලෙස ප‍්‍රසිද්ධ විය. මෙය චිත‍්‍රපට කතාවේ පුර්ව යුගයේ වැදගත් ස්ථාන යයි. මෙය පළමුවරට ”මිනිස් ඇස සහ මනස, එළිය සහ අඳුර” ඇසුරින් නුතන ක‍්‍රමයට සාමානව රූප නැරඹීම ඇරඹුණි. මෙහි නිර්මාතෘ ජර්මන් ජාතික පුජකවරයෙකු වු ඇතනේසියස් ක්රේචර් නම් පියතුමාය. මේ පිළිබඳව The Great Art of Light and Shadowයන කෘතියේ ද සඳහන් වේ. මෙහි මිනිස් ඇසේ ස්වභාවය, දෘෂ්ටියේ පැවැත්ම, රූප සහ රූප අතර අන්තර් සම්බන්ධය යන කරුණු ගැන වේ.

          18 වන සියවස අගදී මැජීක් ලන්තෑරුම මඟින් තනි රූප පෙන්වනවාට වඩා රූප කිහිපයක් තිරය මත පතිත කර ගැනීමෙන් එය ඇස ග‍්‍රහණය කර ගන්නා අයුරු අවබෝධ කර ගැනිණි. ඒ හේතුවෙන් රූප කිහිපයක එකතුව මඟින් එක දිගට අඛණ්ඩ චලනයක් ලැබෙන බව ද එසේ අපට පෙනේන්නේ මිනිස් ඇස යම් රැුවටීමකට බඳුන් වන හෙයිනි යැයි ද වටහා ගන්නට විය. මේ පර්යේෂණයේ කැපි පෙනෙන පුද්ගලයා වුයේ බි‍්‍රතාන්‍ය ජාතික ගණිතඥයෙකු වු පීටර් මාක් රොජේ (1779 - 1864) ය. චලනයට භාජනය වන රූප වැලක් ආශ‍්‍රයෙන් ඇස රැුවටීම පිළිබඳ අතිශයින් වැදගත් වු සිද්ධාන්තය දෘෂ්ටියේ අඛණ්ඩතාවය නැතහොත් දෘෂ්ටියේ පැවැත්ම නම් විය. මෙහි තේරුම අප යම් දර්ශනයක් දැකිමේ දී අපේ ඇස මුල් රූපය ක්ෂණයකින් ග‍්‍රහණය කර ගනී. එය දර්ශන පථයෙන් ඉවත් වුව ද ඊළඟ රූපය දැකීමට පෙර මුල් රූපය අපගේ මතකයේ තැන්පත්ව තිබේ. මුල්ම රූපයත්, දෙවැනි රූපයත් අතර ඇති වන ක්ෂණික කාල පරාසය අතිශය කුඩා නිසා අපේ ඇස මඟින් නොසලකා හැර මුල් රූපයේ සිට දෙවන රූපය ක්ෂණයෙන් ග‍්‍රහණය කර ගනී. මේ අන්දමට රූප එකතු වීමෙන් යම් දර්ශනයක් එක දිගට අඛණ්ඩව අපට දිස් වේ.

උදා: ගිනි පෙළෙල්ලක් ගෙන එය දිගටම නොනැවතී කැරකුවහොත් එය අපට දිස්වන්නේ ගිලි වළල්ලක් ලෙසිනි. නමුත් ඇත්තේ කුඩා ගිනි පුළිගුය.

මේ ආකාරය අපේ ඇස මායාවකට හසු වන බව අපට නොතේරේ. මෙය චිත‍්‍රපටයේ ආරම්භය විය. චිත‍්‍රපටයක තත්පරයකට රූප රාමු 24 ක් දිස් වේ. මෙම රූප චලනය අප ඇසින් කරයි.

          එඞ්වඞ් මයබි‍්‍රජ් විසින් දුවන අශ්වයෙකුගේ කකුල් 4 උඩ සිටින අවස්ථාව පෙන්වීමට තුරඟ පිටියේ කැමරා 12 ක් සවි කර අශ්වයා දුවන විට ඒවා ක‍්‍රියාත්මක වීමට සලසවයි. පසුව කැමරා 24 ක් සවි කර මෙය සිදු කොට මැජීක් ලන්තෑරුමට දමා කරකවා බලා චලනය දකියි. මැජීක් ලන්තෑරුම් මුල ධර්ම ආශ‍්‍රයෙන් ප‍්‍රංශයේ දී ”ප‍්‍රැන්සිනස්කෝප්” නම් උපකරණය සාදයි. මෙය ස්ලයිඞ් ප්‍රොජෙක්ටරයට සමානයි. 

           ජුල්ස් මරේ නම් සත්ව විද්‍යාඥයා පක්ෂීන් පියාසර කරන ආකාරය ගැනීමට ”කැමරා රයිපලය” සාදයි. මෙහි කාචය තුවක්කු බටයේ ද, රයිපලයේ මැගසිනය වෙනුවට වීදුරු ඵලකයක් ද විය. එහි තත්පරයට රූප රාමු 12 ක් සටහන් විය. මෙහි කොකා ගස්සන විට ක‍්‍රියාත්මක වී චලනය සටහන් කර ගනී. මෙය චලනය තනි කැමරාවකින් සටහන් කළ පළමු අවස්ථාව විය.

         තෝමස් අල්වා එඩිසන් මයබි‍්‍රජ්ගේ හා මරේගේ ක‍්‍රම පිළිබඳ උනන්දු වී 1877 දී ඉටි සිලින්ඩරයක් අනුසාරයෙන් ශබ්දය තැටි ගත කිරීමේ උපකරණය වන ”පෝනෝග‍්‍රාප්” නිපදවයි. ශබ්දය, රූපය එක් කිරීමෙන් තමාගේ යන්ත‍්‍රය ජනතාවට සමීප වන බව ඔහු අදහස් කළේය. මෙහි දී ප‍්‍රධාන අභියෝගය තත්පරයට වැඩි රූප රාමු ප‍්‍රමාණයක් සටහන් කර ගැනීමත්, නොකැඩෙන, නොපිලෙස්සෙන, නම්‍යශීලි පටල අඳුනක් යොදා ගැනීමත්ය. 1888 දී විලියම් කෙනඩි ලෝරිස් ඩික්සන් විසින් කිනෙටෝග‍්‍රාප් සාදා 1889 දී ප‍්‍රථම වරට ක‍්‍රියා කර බලයි. ජෝජ් ඊස්ට්මන්ගේ මීටර් 15 ක් දිග සෙලොලොයිඞ් පටලයක් වන පටල අඳුන ප‍්‍රයෝජනයට ගන්නට විය. එය වර්තමාන මිලි මීටර් 35 පටලයට බොහෝ සමානය.
          ලූමියර් සහෝදරයෝ එඩිසන්ගේ යන්ත‍්‍ර තුන් ආකාරයකින් වර්ධනය කළේය. ඒ  ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගෙන යා හැකි, කැමරාවේ ධාවන වේගය තත්පරයට රූප රාමු 18 ක් දක්වා අඩු කර, සවිරාමු මුලධර්මය පදනම් කර ගෙනය. ඒ සෑම රූපයක්ම කාචය ඉදිරියේ මොහොතක්ම නතරව ඉදිරියට යාමයි. මෙම කැමරාව ”සිනමටොග‍්‍රාප්” විය. 1895.02.13 වන දින මේ කැමරාව සහ ප‍්‍රක්ෂේපන යන්ත‍්‍රයට වෙළඳ බලපත‍්‍ර ලබා ගෙන මේ වසරේදීම තම ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස ”වර්කස් ලීවාන් ද ලූමියෙර් ෆැක්ටරි” සාදන ලදී. මොවුන් ස්වභාවික සංසිදධින් රූපගත කරන්නට විය.

          මෙලෙස ක‍්‍රමිකව වර්ධනය වු චලන සටහන පදනම්ව හා දෘෂ්ටියේ අඛණ්ඩතාවය ද පදනම් කොට ගෙන වර්තමානයේ චිත‍්‍රපටය බොහෝ සෙයින් වර්ධනය වී ජනාදරයට පත් වී ඇත. 

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...