Wednesday, July 5, 2017

සුන්දර නිවාඩුවක් ගත කරන්ඩ යමුද?

          නිවාඩු කාලයට ඔයාලා කොහේ හරි යන්ඩ හිතාගෙන ඉන්නවා ද? එහෙම හිතා ගෙන ඉන්න ඔයාලට නිවාඩුවක් ගත කරන්න හොඳ ස්ථාන කිහිපයක් ගැන තමයි මම ඔයාලට කියන්ඩ යන්නේ. හොඳ හැටි හයික්න්ග්, කෑම්පින්ග් කරන්නත් මේ තැන් හොඳයි. ඒ වාගේම මේ තැන්වලට ගියහම ගැමි සුන්දරත්වය, ගැමි ජීවන රටාව අත්විඳින්න, ගමේ රහට කෑම කන්නත් පුලූවන්. 

01. මීමුරේ
          මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති දුෂ්කර ගමකි. නුවර - මහියංගනය ප‍්‍රධාන මාර්ගයේ මහියංගනය දෙසට කීලෝමීටර් 43 ක් පමණ ගිය විට නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇති හුන්නස්ගිරිය හමුවෙනවා. හුන්නස්ගිරියෙන් වම්පසට හැරී නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කීලෝමීටර් 36ක් පමණ දුරක් ගිය විට මීමුරේ නම් මේ ගම්මානය දකින්න පුලූවන්. මේ ගම්මානයේ මහා පතාක යෝධයෙකු මෙන් ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය තියෙනවා. ගම ආරක්ෂා කරන දේවතාවෙකු ලෙස තමයි ගම්වැසියන් මේ ගල හඳුන්වන්නේ. මීමුරේ ගම්මානයෙන් තරමක් වනය තුළට යනවිට පහළට ?රා වැටෙන දිය ඇලි ගනණාවක් හමුවෙනවා. ජල ක‍්‍රීඩා කරන්න කැමති අයටත් මේ දිය ඇලි නම් කදිමයි. මේ ගමේ සුන්දරම කාලය වෙන්නේ ජනවාරි සිට මැයි දක්වා කාලය. නමුත් අවුරුද්ද පුරාම සංචාරක පිරිස් මෙහි යනවා. ඒ මේ සුන්දරත්වය විඳගන්න තමයි.

02. උඩවාඩිය
          කඳු මුදුන් වලින් වට වුණ, කන්දක් මැද්දට වෙන්න පිහිටපු ලස්සන ගමක් තමයි උඩවාඩිය කියන්නේ. මෙය පිහිටලා තියෙන්නේ බඳුල්ල දිස්ත‍්‍රික්කයේ. මෙහි ජීවත් වන පුද්ගලයින්ගේ ජීවන රටාව නම් සෑමෙන්න දුෂ්කරයි. මේ ගමට යන්න කීලෝමීටර් 5 ක් පමණ පා ගමනින් යන්න ඔිනේ. ඒ තේ වතු, කැලැ මැද්දෙන්. යන අතරතුර දැනෙන විඩාව නිවා ගන්න නම් තැන් කිහිපයක්ම තියෙනවා. ගල් ගුහා, ගල් තලා දැක ගන්න පුලූවන්. ඒවාගේම මඟ දිගට හම්බ වෙන සුන්දර දර්ශන නිසා විඩාවක් නම් දැනෙන එකක් නැහැ. වතුර වලිනුත් නම් කිසිම අඩුවක් නෑ. ගමනේ අවසානය දකින්න නම් උඩවාඩිය ඇල්ලෙන් හොඳ වතුර ටිකක් නාගන්න  ඕනේ.

03. කයිකාවල
          මේ කියන්නේ නකල්ස් කඳු පන්තියේ තියෙන කයිකාවල ගැන. නුවර මහියංගන පාරේ හුන්නස්ගිරියට ඇවිත් මීමුරේ පාරේ කීලෝ්මීටර් 25 ක් විතර ගිය තැන තමයි මේ ගම හම්බවෙන්නේ. කුඩා වුණත් මුලූමනින්ම ස්වයං පෝෂිත ලස්සන ගම්මානයක් තමයි කයිකාවල කියන්නේ. සුන්දර දිය ඇලි, ඔය පාරවල් මේ ගමේ තියෙනවා. ඒ වාගේම ලංකා ඉතිහාසයට සම්බන්ධ වෙඩි ලූණු ගුහාව තියෙන්නෙත් මේ කිට්ටුව.

04. වල්පොලමුල්ල
          මේ ගමට යන්න මාතලේ රිවර්ස්ටන්වලට යන්න  ඕනේ. ඊට පස්සේ පිටවල, රත්නින්ද, ඇටන්වල, මානිගල ඔස්සේ කීලෝමීටර් 10ක් විතර මේ ගමට යන්න තියෙනවා. වට පිටාවේ සුන්දරත්වය නිසා මේ ගමනේ මහන්සිය නම් දැනෙන එකක් නෑ. ලංකාවේ පොඩිම ගම තමයි වල්පොලමුල්ල. සමහරු මේ ගම ආසියාවෙන් පොඩිම ගම කියලත් කියනවා. දුෂ්කර ගම්මානයත් වුවත් බත, බුලතින් සරුසාර ගමක් තමයි මේ ගම. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානි ගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

05. කොහොනාවල
          ලංකාවට අඩුවෙන්ම ඉර එළිව වැටෙන ගම තමයි මේ කොහොනාවල කියන්නේ. පිහිටලා තියෙන්නේ බදුල්ල, පස්සර, මඩොල්සීම ගමේ ඉඳන් කීලෝමීටර් 8 - 9 ක් විතර කැළේ ඇතුළට වෙන්න. මේ ගම මුලූමනින්ම වට වේලා තියෙන්නේ කඳුවලින්. ඒ නිසා හොඳට පායන කාලයට පවා ඉර එළිය වැටෙන්නේ පැය 6ක්, 8ක් වගේ කාලයක්. මේ ගමේ අය ගෙවන ජීවන රටාව නම් හරිම දුෂ්කරයි.

06. ලංකාගම
           සිංහරාජ මායිමේ තියෙන හැංගුණු තවත් ලස්සන ගම්මානයක්. ගාල්ල නෙලූවට ගිහින් කොස්මුල්ල ඔස්සේ කැලේ මැදින් පාරක තමයි මේ ගමට යන්න තියෙන්නේ. කීලෝමීටර් 3 - 4ක් විතර යන්න තියෙනවා. ගිං ගං මිටියාවතේ පිහිටි මේ ගම මුලූමනින්ම ස්වයං පෝෂිතයි. මේ ගම වටේම දිය ඇලි, ගල් තලා දැකගන්න පුලූවන්. ලස්සන දුවිලි ඇල්ලක් ද තියෙනවා. ඒ වාගේම බ‍්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටෙන ඇල්ල, ගල් ඔරුව ඇල්ල, තට්ටු ඇල්ල වගේ දිය ඇලි තියෙනවා. හැබැයි වැස්ස කාලෙට මෙහෙ යන අයට කූඩැල්ලන්ගෙන් නම් ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා.

07. ගලමුදුන ගම
            හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තේ තියෙන ගලමුදුන ගම ගැන තමයි මම මේ කියන්න හදන්නේ. උඩුදුම්බරින් තල්ගුණේ, හුලූගලට ගිහින් එතනින් උඩගල් දෙබොක්කට යන්න  ඕනේ. එතන ඉඳලත් කීලෝමීටර් 2 - 3ක් ගියාහම තමයි මේ ගම හමුවන්නේ. නකල්ස් කඳු පන්තියේ එක බෑවුමක් තමයි මේ ප‍්‍රදේශය. මේ ගමේ ජීවන රටාව නම් ටිකක් දුෂ්කර වුණත් ගමේ පිරිස නම් ඉන්නේ හරිම සතුටින්. ඒ වුණාට බත බුලතින් නම් සරු සාරයි. කඳු පන්තිවලින් මෙන්ම දිය ඇලි වලිනුත් මේ ගම සුන්දර කරනවා. මේ ගම්මානය උදේට වාගේම සවස් කාලයටත් හරිම ලස්සනයි. ලකේගල, යහන්ගල, කුවේණිගල වගේ කඳුවලිනුත් මේ ගම තව තවත් ලස්සන කරනවා. ගම මැදින් ගලා යන හීන් ගඟත් ගමට සුන්දරත්වයක් එක් කරනවා.
ඉතින් යාලූවනේ ඉදිරි නිවාඩු කාලවල ඔයාලාත් මේ ගම්මානවල සුන්දරත්වය විඳින්න යනවා නම් ගමේ පරිසරයට නම් හානි කරන්න එපා. ඒ වාගේම අනාගත පරපුරටත් මේ ගැමි සුන්දරත්වය විඳගන්න රැුතගන්න කියලා තමයි කියන්න ඔයාලාගෙන් ඉල්ලන්න තියෙන්නේ. 

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...