Friday, July 21, 2017

ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender)

          ඕනෑම සමාජයක පුද්ගලයින් අතර කුල, ආගමික, ජාතිය, වර්ණ භේදය හා ලිංගිකත්වය ආදිය පදනම් කරගෙන එක් කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායම් විෂම ආකාරයට බෙදා අසමාන ලෙස සැලකීමක් දක්නට ලැබේ. මෙම විෂමතාවන් (Inequality) පදනම්ව සමාජය තුළ සමාජ ස්තරයන් (Social Stratification) ගොඩ නැගේ. මෙවැනි විෂමතා අතර ලිංගික වෙනස අනුව ස්ත‍්‍රීන් හා පුරුෂයින් වෙන් කොට දැක්වේ. මෙම බෙදීම තිබිරි ගෙය තුළදීම සිදු කරනු ලබයි. මෙය ජීව විද්‍යාත්මක බෙදීමක් වන අතර සත්වයාගේ පැවැත්මට ද උපකාරී වේ. ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ශාරීරික වෙනසක් පවතී. ඒ අනුව ජීව විද්‍යාත්මක ( Biologicalලක්ෂණ තුළින් මොවුන් වෙන්ව හඳුනා ගනී. මේ තත්වය ප‍්‍රජනන කාර්යයයේදී මුලිත වේ. මෙලෙස ලිංගිකත්වය (Sex) යන්න ජීව විද්‍යාත්මක සහ ශාරීරික ලක්ෂණවලින් සමන්විතය.
          
             ලිංගිකත්වය ජීව විද්‍යාත්මක වන නමුත් ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender) සාමාජීය හා සංස්කෘතික සාධක අනුව තීරණය වේ. මෙහිදී ජීව විද්‍යාත්මක සාධකවලට වඩා ඒ ඒ සමාජයන් විසින් පුද්ගලයන්ට පවරා ඇති ස්ත‍්‍රී - පුරුෂ චරිත ස්වභාවයන් වැදගත් වේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ කාර්යයභාරයන් (Gender Role) සමාජයෙන් සමාජයට වෙනස් වේ. මෙය පුමිතිරි භාවය ලෙස ද හඳුන්වයි. එනම් එම කාර්යයන් සමාජය හා සංස්කෘතිය විසින් පවරනු ලැබේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක වෙනස මත නොව සමාජය හා සංස්කෘතිය යන සාධක මත ඇති වුවකි. මීට අමතරව සාම්ප‍්‍රදායික විශ්වාස ද බලපෑම් කළ හැකිය.

          ලංකාව තුළ ගැහැණු දරුවෙකුගේ උපතට එතරම් කැමැත්තක් නොමැති අතර, පිරිමි දරුවෙකුගේ උපත සතුටට කරුණකි. මේ වෙනස දරුවන් වර්ධනයේ දී පවා අවධානයට ලක් වේ. ලිංගිකත්වය පදනම්ව සමාජානුයෝජන ක‍්‍රියාවලිය ද තීරණය වේ. මෙහිදී ගැහැණු දරුවන් ස්ත‍්‍රී ගති ලක්ෂණ අභ්‍යන්තරීකරණය කර ගන්නා අතර පිරිමි දරුවා පිරිමි ගති ලක්ෂණ හුරු කොට ගනී. මෙහි වගකීම පිළිවෙලින් මවට සහ පියාට පැවරේ. සංස්කෘතිය තුළින් ස්ත‍්‍රී - පුරුෂ චර්යා රටාවන් ගැන අදහසක් ලබා දේ. මෙය සමාජයෙන් සමාජයට ස්ත‍්‍රී - පුරුෂයන්ගේ ස්වභාවය අනුව වෙනස් වේ. ඒ නිසා බොහෝ සමාජ වල ස්ත‍්‍රී - පුරුෂ විෂමතාවයන් සමාජය තුළින් ඉස්මතු කොට ඇත. මෙය පදනම්ව මිනිසුන් අතර විඥානිකව හෝ අවිඥානිකව එම වෙනස්කම් අභ්‍යන්තරීකරණය කර ගනී. කුල, පංති, ජනවර්ග, වර්ණ භේදය, ආගමික වශයෙන් වෙන්ව හඳුනා ගන්නවා මෙන්ම ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ද වෙනස්කම් පදනම් කරගෙන ඉහළ පහළ තත්වයන් යටතේ ස්තරගත කිරීමක් දක්නට ලැබේ.

          මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක සාදක පදනම් කර ගෙන පවතින්නක් නොවන බවට පැහැදිලිය. මේ පිළිබඳව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය හා ඒ හා සම්බන්ධ මානසික හා සංස්කෘතික ලක්ෂණ ගැන පර්යේෂණ පැවැත් වු මානව විද්‍යාඥවරියක වන මාග‍්‍රට් මීඞ් (Margaret Mead) පෙන්වා දී ඇත. ඇය මේ පිළිබඳව නිව්ගිනියාවේ ගෝත‍්‍රික කණ්ඩායම් තුනක් ආශ‍්‍රීත ස්ත‍්‍රී - පුරුෂ කාර්යයන් ගැන අවධානය යොමු කරමින් පහදා දී ඇත. ඒ 

                 x අරපේෂ් (Arapesh)
                 x මුන්ඩුගුමාර් (Mundugomor)
                 x චම්බුල් (Thehambuli)

යන ගෝත‍්‍රයි. මෙයින් ඇය පෙන්වා දී ඇත්තේ කිසියම් සමාජයක පුරුෂයින් තුළ දැකිය හැකි පුරුෂයින්ගේ ලක්ෂණ යැයි පෙන්වා දෙන ලක්ෂණ තවත් සමාජයක ස්ත‍්‍රීන් තුළ දක්නට ලැබෙන බවයි.

          අරපේෂ් ගෝත‍්‍රයේ ස්ත‍්‍රීන් හා පුරුෂයින් තුළ දැකිය හැක්කේ සාමකාමී, ඉවසා සිටිමේ ගති ගුණයි. ඔවුන් අතර වෛරී ගුණ නොමැත. සහජීවනයෙන් යුක්තව ජීවත් වේ. ස්ත‍්‍රී - පුරුෂ භේදයෙන් තොරව කරුණාවන්ත මාතෘ ලක්ෂණ මොවුන් තුළ විය. මෙය ස්ත‍්‍රී ස්වභාවය වුව ද දෙපාර්ශවය තුළම වු බැවින් සමාන ලක්ෂණ සහිතය.

          මුන්ඩුගුමාර් පිරිස අරපේෂ් ගෝත‍්‍රයට වඩා වෙනස්ය. රණකාමී මොවුන් දෙපාර්ශවය තුළම තරඟකාරීත්වයක් සහ ආක‍්‍රමණශීලිත්වයක් පැවතිණි. සහයෝගයක් නොවු අතර දෙපිරිසම සැඩ පරුෂ ලක්ෂණ වලින් යුක්තය. කාන්තාවන් ද පිරිමින් මෙන් ගස් නැගීම, සතුන් පසු පස හඹා යාම, දඩයම සිදු කරන්නට විය. ඒ නිසාම කාන්තාවන්ට ද පිරිමින් මෙන් හැඩි දැඩි ශරීරයක් විය. මෙය පිරිමි ගති ලක්ෂණයක් වුව ද කාන්තාවන් තුළ ද පැවතිණි.

          චම්බුලි ගෝත‍්‍රය මාතෘ මුලික එකකි. මෙහි කාන්තාව වැදගත් වු අතර ගෝත‍්‍රයේ නායිකාව ද කාන්තාවක් විය. ඇය යටතේ පවුල පැවතුණි. පවුලට ප‍්‍රධාන ආදායම් උපයන්නිය ද ඇයයි. මසුන් මැරීම, දඩයම ඇයගේ කාර්යයන් විය. පරම්පරා උරුමය ද මාතෘ කේන්ද්‍රීයව සිදු විය. මේ අනුව අප සමාජයේ පිරිමින් කරනු ලබන කාර්යය යැයි සැලකෙන දේ මේ ගෝත‍්‍රය තුළ කාන්තාවන් සිදු කරන්නට විය. පුරුෂයින්ගේ කාර්යය වුයේ ගෘහ පාලනය හා සම්බන්ධ ඒවාය. ඒ අනුව මේ තුළ කාන්තා හා පිරිමි ගති අන්‍යෝනය වශයෙන් මාරුවීමක් දක්නට ලැබේ.

        මින් පැහැදිලි වන්නේ ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය සමාජයෙන් සමාජයට වෙනස් වන බවයි. පොදු වුවක් නම් ලොව සියලූ ස්ත‍්‍රීන්ට එක සමාන විය යුතුය. නමුත් කාන්තා හා පිරිමි කාර්යයන් වෙනස් වන්නේ එම සමාජයේ සංස්කෘතිය හා සාමාජීය ලක්ෂණ මතය. දකුණු ආසියාතික රටවල කාන්තාවන් සමාජයේ දෙවන පංතියේ වරප‍්‍රසාද භූක්ති විදී. බටහිර යුරෝපීය රටවල පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන් සම මට්ටමේ වරප‍්‍රසාද ලබන අතර මාතෘ මුලික සමාජ ලෙස සලකන සමාජ වල කාන්තාවන්ගේ සමාජ මට්ටම් ඉහළ තත්වයක රැදී ඇත. 

No comments:

Post a Comment

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...