Thursday, June 1, 2017

ගීත විචාරය 

අව්වට වැස්සට

අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ 
දෑතේ විරියෙනි රටවල් නැගුනේ 
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් 
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ 

දා ගැබ් මහ වැව් කලා නිකේතන 
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ 
ඒ නුඹලාටයි දු දරුවන්ටයි 
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ 

අව්වට වැස්සට...... 

රජ සැප විඳිනට රජ දරුවන් හට 
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ 
ඒ නුඹලාගේ දුක දැක ගන්නට 
මොන රජ දරුවද පැලකට වැඩියේ 

අව්වට වැස්සට...... 

ගායනය        - ටී. එම්. ජයරත්න 
පද රචනය    - රඹුක්කන සිද්ධාර්ථ හිමි 
සංගීතය        - පේ‍්‍රමසිරි කේමදාස 


ගීත විචාරය 

කෙටි කතා, නවකතා, නාට්‍ය, සිතුවම්, සිනමාව ආදී මේ සෑම සාහිත්‍යාංගයක්ම කලාව යන කෙටි වචනය තුළ අන්තර්ගත කළ හැකිය. එකි කුමන මාධ්‍යක හෝ වේවා රසිකයාට යම් වින්දනයක් ලබා දීම මුලික අරමුණක් වේ. නමුත් යම් කලා නිර්මාණයක් හුදු වින්දනය පමණක් මුලික කර ගතහොත් එය අංග සම්පුර්ණ නිර්මාණයක් වන්නේ නැත. එයින් ඔබ්බට ගිය යම් අරුතක් නැත්නම් සමාජයට දිය යුතු හරවත් පණිවිඩයක් එය තුළ ගැබ් විය යුතුය. තම පෞද්ගලික අත්දැකීමක් හෝ සමාජයේ ඒ ඒ කාලයන් තුළ සිදුවන යම් සිදුවිමක් පාදක කොටගෙන යම් නිර්මාණයක් ගොඩ නැගිය හැකිය. එමෙන්ම එය වාර්තාමය ස්වරුපයෙන් බැහැර වු යමක් සිතන්නට හැකි නිර්මාණයක් විය යුතුමය. 

”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ...... ” යන  ගීතය  රසිකයන්  අතර වඩාත් ජනපිය තත්වයට පත් වු ගීතයකි. මෙය නිර්මාණය වී ඇත්තේ් ”පහන් තරුව ” කැසට් පටය සඳහා ලෝක  කම්කරු දිනය වෙනුවෙන්ය. මෙම ගීතය අපගේ සවනට වැටෙත්ම මතකයට නැෙඟන්නේ රටේ ජීවත් වන සාමාන්‍ය ජනතාවයි. එමෙන්ම මෙම ගීතය අපගේ හදවතට දැනෙන අයුරින් ගායනය කරනු ලබන්නේ විශිෂ්ට ගායකයෙකු වන ටී. එම්. ජයරත්න මහතා විසිනි. එමෙන්ම මෙහි පද රචනා කර ඇත්තේ රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ පන්හිදෙනි. යතිවරයෙක් වුව ද එතුමාණෝ කම්කරුවන්ගේ අගය මැනවින් වටහා ගෙන ඇත. තව ද මෙහි පද වලට මියුරු සංගීතය ගොඩනගා ඇත්තේ මෙරට සිටින දක්ෂතම සංගීතඥයෙකු වන පේ‍්‍රමසිරි කේමදාස හෙවත් මාස්ටර් ගේ නිර්මාණාත්මක භාවයෙනි.  

මෙම ගීතය තුළින් සමාජ සන්දර්භය තුළ කැටි ගැසුණු යතාර්ථයක් ඉස්මතු කර පෙන්වන්නට රචකයා ගනු ලබන උත්සහය අපට පැහැදිලි වේ.  ඕනෑම සමාජයක කුමන අංශයක්හෝ වේවා විශේෂිත වු සංවර්ධනයක් ඇති වුවා නම් ඊට දායකත්වය සැපවුයේත්, දැනට සපයන්නේත් සාමාන්‍ය ජනතාවයි. රටක වෙසෙන ජනතාවකට බත් පත සපයන්නේ ගොවියා විසිනි. රටකට අවැසි ධාන්‍ය මෙන්ම එළවළු, පළතුරු ආදිය ද අපට සපයා දෙන්නේ ඒ ගොවියා විසින්මය. ඔවුන් වැස්සට මෙන්ම අව්වට ද එක සේ හුරුය. ඔවුන්ගේ දෑත් සිනිඳු හෝ සුමට නොවේ. කරගැට නැගුණු ඔවුන්ගේ දෑත් ගොරොසුය. එය ඔවුන්ට දුකක් ද නොවීය. ඔවුන්ගේ අත පය ගොරොසු වුවත් සංවේදී හදවත් ඔවුන් තුළ විය. ඒ සංවේදී භාවය නිසාම ඔවුන් තුළින් නිතතින්ම තම කාන්සිය නිවා ගැනීමට පැල් කවි, පාරු කවි, ගැල්කරුවන් ගේ කවි නිර්මාණය විය. ඒ සෑම ජන කලාවක්ම බුදු දහමේ ආභාෂය ලබා නිර්මාණය විම අතිශයින් වැදගත්ය. එමෙන්ම කම්කරු ජනතාව උදෙසා ලියැවුණු ගී පද රචනා අතලොස්ස අතර ඉහළින් තැබිය හැකි ගීතයක් ලෙසින් මෙම ගීතය හඳුන්වා දිය හැක.


”අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ 

දෑතේ විරියෙනි රටවල් නැගුනේ 

ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් 

මොන  රජ  මැදුරෙද  සුදු  කොඩි  න ැගුනෙ ් ” 

මෙම පද පෙළෙන් කියවෙන්නේ අව්වට, වැස්සට හුරු මිනිසුන්ගේ දෑත් වල ශක්තියෙන්  රටවල් ගොඩනැගුණු බවයි. රටක කම්කරු ජනතාවට වැස්ස මෙන්ම අව්ව ද එකසේ හුරු පුරුදුය. වැස්සට තෙමෙනා ඔවුන් අව්වට වෙලෙයි. දෙකෙන්ම පිඩා විදිනුයේ කම්කරුවන් විනා පාලකයන් නොවේ. නමුත් ඔවුන් එසේ පීඩා විඳින්නේ පාලිතයින්ට නැතහොත් ධනපතියන්ට මන්දිරයන් තරකීමට නොවන්නේ ද? එම වැඩ කරන ජනතාවගේ සවිමත් දෑත් නොවන්නට රටක් කිසිදා ගොඩනැඟිය නොහැක. මෙය රජදරුවන්ට කිසිදා නොවැටහේ. මන්දිර වල සැපවිඳින ඔවුන් කෙසේ නම් කම්කරු ජනතාවගේ ලේ, දහඩිය සුවඳ හඳුනා ගන්න ද? ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන කම්කරුවාගේ මලගම දින කඳුලක් හෙළන්නට නොව මැදුරෙහි සුදු කොඩියක්වත් එල්ලීමට රජ දරුවන් වැරදීමකින්වත් සිහි නොගනී. එය කම්කරුවන්ට තමා කළ සේවය වෙනුවෙන් ධනපතීන්ගෙන් ලැබෙන ප‍්‍රතිලාභ යයි. ධනපතියන්ට ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන එම කම්කරුවන් හුදු වහල්ලූන් විනා මනුෂ්‍යයින් නොවේ. එය වර්තමාන සමාජය තුළ ද යථාර්තය බවට පත් වී ඇත. මෙයින් අද සමාජයේ සිටින දේශපාලඥයන්ගේ ස්වභාවය ද කියා පානු ලබයි. එනම් වර්තමානයේ සිටින බොහෝ දේශපාලඥයන් ජනතා ඡුන්දයෙන් තේරී පත් වී නායකත්වයන්ට පැමිණිය ද පසුව ඔවුනට එම ස්ථානය කරා යාමට උදව් උපකාර කළ පුද්ගලයන් ගැන සොයා නොබලා ඔවුන්ගේ මඩිය තර කර ගැනීමේ තරඟයක යෙදී සිටින බවයි. 

”දා ගැබ් මහ වැව් කලා නිකේතන 

නුඹලා දෑතිනි මිහි මත මැවුනේ 

ඒ නුඹලාටයි දු දරුවන්ටයි 

මොන  රජ  මැදුරෙද දොරටුව හැරුනෙ ්” 

අහස උසට දිස්වෙන මහා දැගැබ් සීහල කලා කරුවා අතින් නිම විය. සහලින් මේ රට ස්වයංපෝෂිත කිරීමට මහා වැව් තැනුනේත් සාමාන්‍ය ජනයාගේ දෑතේ විරියෙනි. එපමණක් නොව මහා මාර්ග, වෙහෙර විහාර, කලා නිකේතන යනා දී සියල්ලම මේ පොලෝ තලය මත ගොඩනැඟුනේ මේ කම්කරුවන්ගේ විශ්මිත දෑතිනි. ඒ සෑම දෙයකම කම්කරුවන්ගේ දහඩිය සුවඳ මෙන්ම කඳුළද සැඟවී ඇත. ඔවුන් නොසිටින්න මේ ලෝකය මෙතරම් අපුර්ව තැනක් නොවන්නට ඉඩ තිබුණි. අප එදා විටම අද දක්වාම මේ විශ්මිත නිර්මාණයන් ගැන කතා කළ ද ඒ වෙනුවෙන් ලේ දහඩිය වඟුරවන ලද කම්කරුවන් එකෙකු ගැන හෝ කතා නොකරයි. එමෙන්ම අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව අභියස දී ශ‍්‍රීමත් නේරු තුමන් වැනි රාජ්‍ය නායකයන් පවා වශී වු බව කියනු ලැබේ. ඒ තරමට එවැනි කලා කෘති බුදුන් වහන්සේගේ ගුණ කඳ ඉස්මතු කර දක්වන්නට තරම් ප‍්‍රබල විය. අව්කන බුද්ධ ප‍්‍රතිමාව නරඹන  ඕනෑම කෙනෙක් ඉන් දෙනෙත් ඉවතට ගැනීමට මැලි වන්නේ ජීවමාන බුදුන් වහන්සේ ඉන් නිරූපණය වන නිසාය. මෙවැනි දේ නිර්මාණය කරමින් අප මව් බිම ලෝකය පුරා ප‍්‍රචලිත කිරීමට උර දුන් මොවුන්ට මෙන්ම මොවුන්ගේ දරුවන් වෙනුවෙන් රජ මැදුරු වල හෙවත් ධනපතින්ගේ නිවෙස් වල කිසිඳු විටක දොරවල් විවෘත වු වේ ද, බත් පත බෙදුනේ ද නැත. එමෙන්ම වර්තමාන තත්වය ද එසේමය. අනාගතයේ ද එම තත්වය වෙනස් විය හැකි ද? 

”රජ සැප විඳිනට රජ දරුවන් හට 

නුඹලා දෑතිනි මන්දිර මැවුනේ 

ඒ නුඹලාගේ දුක දැක ගන්නට 

මොන  රජ  දරුව ද පැලක ට වැඩියේ ” 

රජවරුන්ට මෙන්ම ඔවුන්ගේ දරුවන්ටත් ජීවත් වීම සඳහා මන්දිර නිර්මාණය වුයේ සාමාන්‍ය ජනතාවගේ දෑතිනි. රජ පැටවුන්ට අව්වෙන් වැස්සෙන් වෙන පීඩාවන්ගෙන් වළක්වා ගැනීමට කම්කරුවෝ අව්වෙන්, වැස්සෙන් පීඩා විඳිමින් මාළිගා තැනුහ. ඔවුන් තැනු එම මාළිගා තුළ රජ පැටවුන් නැටුම් ගැයුම් බලමින්, මධුවිත තොලගාමින් සතුටින් සිටිද්දී කම්කරුවෝ කුසට හරියම් ආහාරයක්වත් නොමැතිව පැල්පතට වී දුක් සුසුම් හෙළමින් සිටී. නමුත් මොවුන්ගේ දුක සැප බෙදා ගන්නට එකදු රජ දරුවෙක්වත් පැල්පත් වලට ගොඩවන්නේ නැත. එය වු කලී රජ පැටවුන්ගේ කෘත ගුණ සැලකීමයි. එනම් ධනපති පංතිය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව කෙතරම් මහන්සි වී වැඩ කළ ද, ඔවුන්ගේ සෑම  ඕන එපා කමක්ම ඉටු කළ ද, එම ජනතාවට කරදරයක් වු කිසිම අවස්ථාවක ඔවුන් ඒ ජනතාවගේ නිවෙස් වලට ගොස් දුක සැප සොයා නොබලති. එමෙන්ම සාමාන්‍ය ජනයාගේ නිවෙස් වලට රජ දරුවන් හෙවත් ඉහළ පංතියේ දරුවන් කිසිම විටක නොයයි. 

ඒ ආකාරයට මෙම මුළු ගීතය පුරාම රජවරුන් සහ සාමාන්‍ය ජනයා අතර ඇති පරතරය පිළිබඳව හුවා දක්වන්නට රචකයා උත්සහා දරා ඇත. පැරණි රජවරු මහා දාගැබ්, මහා වැව් ගොඩ නැගුවේ රටේ සංවර්ධනය උදෙසාය. රුවන්වැලි සෑය නිර්මාණයේ දී සියලූ දෙනාටම වැටුප් ගෙවු  බව සඳහන් වේ. එපමණක් නොව යම් යම් සේවාවන් වෙනුවෙන් ගම්වර පවා ප‍්‍රධානය කළ අවස්ථාවන් කොතෙකුත් ඇත. පාලකයා සහ සාමාන්‍ය ජනතාව අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව රචකයා ගේ දැක්ම වෙනත් ආකාරයකින් ද බැලිය හැක. රසිකයා යනු එක හා සමාන බුද්ධි මට්ටම් ඇත්තන් නොවේ. ඒ අනුව ගීතයෙන් කියවෙන රජුන් සහ රජ දරුවන් පිළිබඳව එන යෙඳුම් සාමාන්‍ය අයෙකු තේරුම් ගැනීමේ දී තම තමන්ගේ බුද්ධි මට්ටම් අනුව විවිධාකාරයෙන් අර්ථ නිරුපණය කර ගනු ලැබේ. 

කවදත් සමාජයේ පවතින දුප්පත් - පොහොසත් භේදය, උසස් කුල - පහත් කුල භේදය වැනි සමාජ විෂම තාවයන් අතීතයේ මෙන්ම අදත් පවතී. ගීත රචකයා රජවරුන් වෙනුවට දුප්පත්, පොහොසත් යන යෙදුම යොදා ගනිමින් එය ඉස්මතු කොට තම නිර්මාණය සිදු කරනු ලැබුවේ නම් වඩාත් සාර්ථක වන්නට හැකියාව ඇති බව මාගේ අදහස වේ. නමුත් ගීත රචකයා සමාජය තුළ පවත්නා යතාර්ථයක් වන සමාජ පංති වෙනස විරෝධාකල්පයක් ලෙස මෙමගින් ඉදිරිපත් කර ඇත. 

මෙම ගීතය තුළින් කියවෙන සමස්ථයේ සරල අර්ථය හෙවත් සාරාංශ වන්නේ රටවල් ගොඩනැගෙන්නේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑත්වලිනි. එහෙත්, ඒ මිනිසුන්ගේ දුකෙහි දී දුක් වන්නට ඔවුන්ගේ කරපිටින් සිහසුනට ගිය පාලකයින්ට සංවේදී බවක් නොමැත යන්නයි. මෙම ගී පද වල අරුත වීදාගම මාහිමියන්ගේ බුදු ගුණාලංකාරයෙහි එන පහත එන කවෙන් මතුවන අන්‍යාලාපය සමඟ ද සැසදිය හැක. 

”ඇත් ගොව්වන්                 මරා 

තුටු වන ගජන්            අයුරා 

දුක් ගන්නන්             මරා  

එයින් තුටු සිත් නොවෙති  ඉඳුරා” 

මෙහි අර්ථය නම් ඇත් ගොව්වන් මරා දමා සතුටු වන ඇතුන් මෙන් තමන් වෙනුවෙන් වෙහෙසුණු අය විනාශ කර දමා එයින් ලිච්ජවි රජවරු සතුටු නොවෙති. ඒ අනුව ”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ...... ” ගීතයේ අන්‍යාලාපය වන්නේ මෙසේ අව්වට,  වැස්සට හිස දී රටවල් ගොඩනගන්නට දුක් ගන්නවුන් මරා දැමු රජවරුන් ද එකල වු බවයි. රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ බුදුගුණාලංකාර ලිච්ජවි රාජ වර්ණනයේ එන උත්ප‍්‍රාසයන් විරෝධාකල්ප ප‍්‍රකාශන ලෙස එකම ලක්ෂයක දී සමපාත වන බව ද මින් පෙනී යයි. 

No comments:

Post a Comment

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...