Wednesday, July 26, 2017

       ජීවිතය 
මිනිස්සු විරහව ගැන
කවි ලියනවා .....
ඒ තරමට ආදරය
ගැන කවි ලියවෙන්නේ නැහැ
නමුත් ලියවෙන කවි ඇතුළත
වේදනාව පමණි .....
මොකද .....
මිනිස්සුන්ට ලැබීම් ගැන
කියනවාට වඩා .....
නොලැබීම් ගැන කියන්න පුලූවන් .....
ඒත් ..... නොලැබීම් ගැන හිතමින්
දුක් වෙනවාට වඩා ලැබීම් 
ගැන සතුටු වෙලා
ජීවත් වීම වැදගත් .....

සබඳ
අතිනත පටලා කෙලි දොළින් ගෙවු
කාලය නිමා විය නොදැනීම ....
නමුත් ඔබත් .... මමත් අදටත් එලෙසමය
ඔබ මට මවකි .... සොයුරියකි ....
යෙහෙළියකි .... ගුරුවරයෙකි ....
විටෙක තරහා වෙමින් .... යහලූ වෙමින්
ගෙවුණු කාලය අදින් නිමා නොවනු 
ඇත ....
නමුත් ඔබ අලූත් සහකුරුවෙකු සමඟ
නව ලොවකට පියනගනු ඇත ....
නමුදු තබා ගන්න මතකයේ
සැමදිනකම ඔබයි මගේ සොහොයුරිය ....
යෙහෙළිය ....

වෙනස
          
          අද මට තියේවි .....
          එත් හෙට නැති වේවි .....
          හෙට උඹට තියේවි .....
          උඹටත් නැති වේවි .....
            සල්ලි .....
          
          අද මට තියේවි .....
          හෙටටත් තියේවි .....
          අද උඹට නැති උනොත් .....
          හෙට උඹත් නැති වේවි .....
             මනුස්සකම .....

Friday, July 21, 2017

ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender)

          ඕනෑම සමාජයක පුද්ගලයින් අතර කුල, ආගමික, ජාතිය, වර්ණ භේදය හා ලිංගිකත්වය ආදිය පදනම් කරගෙන එක් කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායම් විෂම ආකාරයට බෙදා අසමාන ලෙස සැලකීමක් දක්නට ලැබේ. මෙම විෂමතාවන් (Inequality) පදනම්ව සමාජය තුළ සමාජ ස්තරයන් (Social Stratification) ගොඩ නැගේ. මෙවැනි විෂමතා අතර ලිංගික වෙනස අනුව ස්ත‍්‍රීන් හා පුරුෂයින් වෙන් කොට දැක්වේ. මෙම බෙදීම තිබිරි ගෙය තුළදීම සිදු කරනු ලබයි. මෙය ජීව විද්‍යාත්මක බෙදීමක් වන අතර සත්වයාගේ පැවැත්මට ද උපකාරී වේ. ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ශාරීරික වෙනසක් පවතී. ඒ අනුව ජීව විද්‍යාත්මක ( Biologicalලක්ෂණ තුළින් මොවුන් වෙන්ව හඳුනා ගනී. මේ තත්වය ප‍්‍රජනන කාර්යයයේදී මුලිත වේ. මෙලෙස ලිංගිකත්වය (Sex) යන්න ජීව විද්‍යාත්මක සහ ශාරීරික ලක්ෂණවලින් සමන්විතය.
          
             ලිංගිකත්වය ජීව විද්‍යාත්මක වන නමුත් ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender) සාමාජීය හා සංස්කෘතික සාධක අනුව තීරණය වේ. මෙහිදී ජීව විද්‍යාත්මක සාධකවලට වඩා ඒ ඒ සමාජයන් විසින් පුද්ගලයන්ට පවරා ඇති ස්ත‍්‍රී - පුරුෂ චරිත ස්වභාවයන් වැදගත් වේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ කාර්යයභාරයන් (Gender Role) සමාජයෙන් සමාජයට වෙනස් වේ. මෙය පුමිතිරි භාවය ලෙස ද හඳුන්වයි. එනම් එම කාර්යයන් සමාජය හා සංස්කෘතිය විසින් පවරනු ලැබේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක වෙනස මත නොව සමාජය හා සංස්කෘතිය යන සාධක මත ඇති වුවකි. මීට අමතරව සාම්ප‍්‍රදායික විශ්වාස ද බලපෑම් කළ හැකිය.

          ලංකාව තුළ ගැහැණු දරුවෙකුගේ උපතට එතරම් කැමැත්තක් නොමැති අතර, පිරිමි දරුවෙකුගේ උපත සතුටට කරුණකි. මේ වෙනස දරුවන් වර්ධනයේ දී පවා අවධානයට ලක් වේ. ලිංගිකත්වය පදනම්ව සමාජානුයෝජන ක‍්‍රියාවලිය ද තීරණය වේ. මෙහිදී ගැහැණු දරුවන් ස්ත‍්‍රී ගති ලක්ෂණ අභ්‍යන්තරීකරණය කර ගන්නා අතර පිරිමි දරුවා පිරිමි ගති ලක්ෂණ හුරු කොට ගනී. මෙහි වගකීම පිළිවෙලින් මවට සහ පියාට පැවරේ. සංස්කෘතිය තුළින් ස්ත‍්‍රී - පුරුෂ චර්යා රටාවන් ගැන අදහසක් ලබා දේ. මෙය සමාජයෙන් සමාජයට ස්ත‍්‍රී - පුරුෂයන්ගේ ස්වභාවය අනුව වෙනස් වේ. ඒ නිසා බොහෝ සමාජ වල ස්ත‍්‍රී - පුරුෂ විෂමතාවයන් සමාජය තුළින් ඉස්මතු කොට ඇත. මෙය පදනම්ව මිනිසුන් අතර විඥානිකව හෝ අවිඥානිකව එම වෙනස්කම් අභ්‍යන්තරීකරණය කර ගනී. කුල, පංති, ජනවර්ග, වර්ණ භේදය, ආගමික වශයෙන් වෙන්ව හඳුනා ගන්නවා මෙන්ම ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ද වෙනස්කම් පදනම් කරගෙන ඉහළ පහළ තත්වයන් යටතේ ස්තරගත කිරීමක් දක්නට ලැබේ.

          මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක සාදක පදනම් කර ගෙන පවතින්නක් නොවන බවට පැහැදිලිය. මේ පිළිබඳව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය හා ඒ හා සම්බන්ධ මානසික හා සංස්කෘතික ලක්ෂණ ගැන පර්යේෂණ පැවැත් වු මානව විද්‍යාඥවරියක වන මාග‍්‍රට් මීඞ් (Margaret Mead) පෙන්වා දී ඇත. ඇය මේ පිළිබඳව නිව්ගිනියාවේ ගෝත‍්‍රික කණ්ඩායම් තුනක් ආශ‍්‍රීත ස්ත‍්‍රී - පුරුෂ කාර්යයන් ගැන අවධානය යොමු කරමින් පහදා දී ඇත. ඒ 

                 x අරපේෂ් (Arapesh)
                 x මුන්ඩුගුමාර් (Mundugomor)
                 x චම්බුල් (Thehambuli)

යන ගෝත‍්‍රයි. මෙයින් ඇය පෙන්වා දී ඇත්තේ කිසියම් සමාජයක පුරුෂයින් තුළ දැකිය හැකි පුරුෂයින්ගේ ලක්ෂණ යැයි පෙන්වා දෙන ලක්ෂණ තවත් සමාජයක ස්ත‍්‍රීන් තුළ දක්නට ලැබෙන බවයි.

          අරපේෂ් ගෝත‍්‍රයේ ස්ත‍්‍රීන් හා පුරුෂයින් තුළ දැකිය හැක්කේ සාමකාමී, ඉවසා සිටිමේ ගති ගුණයි. ඔවුන් අතර වෛරී ගුණ නොමැත. සහජීවනයෙන් යුක්තව ජීවත් වේ. ස්ත‍්‍රී - පුරුෂ භේදයෙන් තොරව කරුණාවන්ත මාතෘ ලක්ෂණ මොවුන් තුළ විය. මෙය ස්ත‍්‍රී ස්වභාවය වුව ද දෙපාර්ශවය තුළම වු බැවින් සමාන ලක්ෂණ සහිතය.

          මුන්ඩුගුමාර් පිරිස අරපේෂ් ගෝත‍්‍රයට වඩා වෙනස්ය. රණකාමී මොවුන් දෙපාර්ශවය තුළම තරඟකාරීත්වයක් සහ ආක‍්‍රමණශීලිත්වයක් පැවතිණි. සහයෝගයක් නොවු අතර දෙපිරිසම සැඩ පරුෂ ලක්ෂණ වලින් යුක්තය. කාන්තාවන් ද පිරිමින් මෙන් ගස් නැගීම, සතුන් පසු පස හඹා යාම, දඩයම සිදු කරන්නට විය. ඒ නිසාම කාන්තාවන්ට ද පිරිමින් මෙන් හැඩි දැඩි ශරීරයක් විය. මෙය පිරිමි ගති ලක්ෂණයක් වුව ද කාන්තාවන් තුළ ද පැවතිණි.

          චම්බුලි ගෝත‍්‍රය මාතෘ මුලික එකකි. මෙහි කාන්තාව වැදගත් වු අතර ගෝත‍්‍රයේ නායිකාව ද කාන්තාවක් විය. ඇය යටතේ පවුල පැවතුණි. පවුලට ප‍්‍රධාන ආදායම් උපයන්නිය ද ඇයයි. මසුන් මැරීම, දඩයම ඇයගේ කාර්යයන් විය. පරම්පරා උරුමය ද මාතෘ කේන්ද්‍රීයව සිදු විය. මේ අනුව අප සමාජයේ පිරිමින් කරනු ලබන කාර්යය යැයි සැලකෙන දේ මේ ගෝත‍්‍රය තුළ කාන්තාවන් සිදු කරන්නට විය. පුරුෂයින්ගේ කාර්යය වුයේ ගෘහ පාලනය හා සම්බන්ධ ඒවාය. ඒ අනුව මේ තුළ කාන්තා හා පිරිමි ගති අන්‍යෝනය වශයෙන් මාරුවීමක් දක්නට ලැබේ.

        මින් පැහැදිලි වන්නේ ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය සමාජයෙන් සමාජයට වෙනස් වන බවයි. පොදු වුවක් නම් ලොව සියලූ ස්ත‍්‍රීන්ට එක සමාන විය යුතුය. නමුත් කාන්තා හා පිරිමි කාර්යයන් වෙනස් වන්නේ එම සමාජයේ සංස්කෘතිය හා සාමාජීය ලක්ෂණ මතය. දකුණු ආසියාතික රටවල කාන්තාවන් සමාජයේ දෙවන පංතියේ වරප‍්‍රසාද භූක්ති විදී. බටහිර යුරෝපීය රටවල පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන් සම මට්ටමේ වරප‍්‍රසාද ලබන අතර මාතෘ මුලික සමාජ ලෙස සලකන සමාජ වල කාන්තාවන්ගේ සමාජ මට්ටම් ඉහළ තත්වයක රැදී ඇත. 

Tuesday, July 18, 2017

කි‍්‍රකට් ලොව හොල්ලන කෙල්ලෝ

             කි‍්‍රකට් කිව්වොත් අපි කාගේත් මතකයට නැගෙන්නේ මාස්ටර් බ්ලාස්ටර්, සංගා, මහේල, කෝලි, දෝණි, ගේල් වගේ සුපිරි තරු පමණකි. නමුත් අද මේ සුපිරි තරුවලට තරු විසිවෙන්න වැඩ පෙන්නවපු ලෝක ක‍්‍රිකට් තාරකාවියනුත් ඉන්නවා. මේ තාරකාවියන් ගැන විවිධ පුවත් මේ දවස් වල එංගලන්තය පැත්තෙන් ඇහෙනවා. මේ ඒ තාරකාවියන් අතරින් හොඳම කණ්ඩායම් පහ ගැන පුංචි විස්තරයක්.

01. කැන්ගරු කෙල්ලෝ
           හොඳ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම් පහ අතර පළමු තැන හිමි වන්නේ මේ කණ්ඩායමට. කැන්ගරු රටේ හෙවත් ඔස්ටේ‍්‍රලියාවේ තමයි මේ කෙල්ලෝ ටික ඉන්නේ. කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලානය සය වරක් මේ කණ්ඩායම දිනාගෙන තියෙනවා. මේ කෙල්ලන්ට ක‍්‍රිකට් කැන්ගරු කොල්ලන්ට සමාන තැනක් මේ රටේ තියෙනවා. මොවුන් අතරින් වැඩි පිරිසක් තුන් ඉරියව් කි‍්‍රඩිකාවන්. එමෙන්ම ලොව සමගි සම්පන්නම කි‍්‍රකට් කෙල්ලෝ මේ පිරිස මොවුන්.

02. එංගලන්ත වීරවරියෝ
       ලෝක කාන්තා කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින්නේ හිරු නොබසින අධිරාජ්‍යයේ කෙල්ලෝ ටික.  ඕනෑම වේලාවක තරඟයක ඉරණම වෙනස් කිරීමේ හැකියාව මොවුන්ට ඇති බව පිළිගැනිමයි. එංගලන්තයේ මේ කෙල්ලෝ එකොළොස්දෙනා දැනට තුන් වතාවක් ලෝක කුසලානය සිය රටට රැුගෙන ගොස් තියෙනවා.

03. කලූ තොප්පිකාරීයෝ
            කාන්තා ක‍්‍රිකට් ශේ‍්‍රණිගත කිරීම් වල තුන්වන තැන හිමිවන්නේ මේ කණ්ඩායමට. 2000 වසරේ ලෝක කුසලානය තමා සතු කර ගැනීමට මේ කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙවර ලෝක කුසලානයේ දී කැපී පෙනෙන කණ්ඩායමක් බවට මොවුන් පත් වී සිටියා. විශේෂයෙන් සෑම තරඟයකදීම මේ කණ්ඩායමේ නායිකාව වන සුසී මාධ්‍යයට අදහස් දැක් වු ආකාරය කාගේත් කතා බහට ලක් වුණා.

04. ඉන්දියානු කෙල්ලෝ
            ශ්‍රේණිගත කිරීම්වල සිව්වන තැන සිටින්නේ ඉන්දීය පිළයි. නමුත් විනීත භාවය අතින් අවම කාන්තා පිළ ලෙස සැලකෙන්නේ මේ පිරිසයි. ඊට හේතුව බොහෝ තරඟවල දී ඔවුන් ප‍්‍රතිවාදී කණ්ඩායම් සමඟ ආරවුල් ඇති කර ගැනීමයි. මේ පිළේ උපරිම දක්ෂතාවය ලෙස 2005 වසරේ දී ලෝක කුසලානයේ අනුශුරියන් බවට පත් වීමට හැකියාව ලැබුණා.

05. දකුණු අප‍්‍රිකානු සිස්ටර්ස්
          මේ අය ඩිවලියර්ස් සිස්ටර්ස් ලෙස හඳුන්වනවා. එසේ හඳුන්වන්නේ ඩිවලියර්ස් වරක් ඔවුන් මගේ පුංචි සහෝදරියන් වගේ ඇයි පවසා ඇති නිසාය. ලෝක කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් අතර හොඳම වේග පන්දු යවන්නියන් සිටින්නේ දකුණු අප‍්‍රිකාවටයි. එමෙන්ම මේ පිළේ නායිකාව ක‍්‍රිකට් ලොව ලැබු දියමන්ති ආකරයක් ලෙස සැලකෙනවා.

           




             මේ පහට අමතරව හයවන, හත්වන සහ අටවන ස්ථානයේ පිළිවෙලින් ඉන්දීය කොදෙව් පිළ, ශ‍්‍රී ලංකා පිළ සහ පාකිස්ථානු පිළ රැුඳී සිටිනවා.

Thursday, July 13, 2017

හුදෙකලාවේ සීතල තැනිතලාව
          නුවරඑළිය කියු සැනින් අපේ මතකයට නැගෙන්නේ දැඩි සීතලක්, කඳුවලින් ගහනය වු මනස්කාන්ත පරිසරයකි. කෙසේ නමුත් නුවරඑළියේ යන  ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම ගමන් කළ යුතුම ස්ථානයක් වශයෙන් ලෝකාන්තය දැක්විය හැකිය. මක් නිසාද යත් කඳු අතර පිහිටි උස් සම භූමියක් (සානුවක) මැඳින්, සීතල සුළඟක්, එම පරිසරයටම ආවේණික සතුන් හා ශාකවලින් පිරි මනස්කාන්ත තැනිතලාවක් හරහා ලෝකාන්තයට යන පාර වැටි තිබිම නිසාය. එමෙන්ම ලෝකාන්තය සොයා යන  ඕනෑම කෙනෙකුට අප රටේ වෙනත් කිසිම පරිසර පද්ධතියකින් හමුනොවුනු අපුර්ව සුන්දරත්වයකින් යුත් සුන්දර තැනිතලාවක් හමුවෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුත් වු සුන්දර නුවරඑළියේ පිහිටි එකම වනෝද්‍යානය හෝර්ටන් තැන්නයි. 

          ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි වනෝද්‍යානයක් වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1200 - 2300 පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි හෝර්ටන්තැන්න හෙක්ටයාර් 3160ක් පුරා විහිදි පවතියි. නුවරඑළියේ සිට මීපිලමාන, අඹේවෙල, පට්ටිපොළ හරහා කීලෝමීටර් 32ක් ගිය පසු හෝර්ටන්තැන්න හමුවේ. මෙය මුල් කාලයේ දී මහඑළිය නමින් හඳුන්වා ඇත. මෙයට හේතු වී ඇත්තේ රාවණා රජු සීතා දේවියව පැහැරගෙන පැමිණ තම දඩුමොණරය ගොඩබැස්සවු ප‍්‍රදේශය තොටුපළ කන්ද ලෙස ද, ඒ ගොඩබැස්ස වීමෙදී නිකුත් වු ආලෝකධාරාව නිසා මහඑළිය නම් වු බවයි. 1920 දශකයේ ඉංග‍්‍රීසී ජාතික කපිතාන් විළියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් මුලින්ම හෝර්ටන්තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝර්ටන්තැන්න යන නාමය ලැබි ඇත්තේ ශ‍්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදී.

          මෙයට විශාල දේශීය, විසේශීය සංචාරකයන් විශාල ප‍්‍රමාණයක් පැමිණේ. මෙහි කාලගුණය ක්ෂණිකයෙන් වෙනස් වේ. ඒ නිසා එම කාලගුණ වෙනස්කම් වලට මුහුණ දීමට සුදානම්ව යා යුතුය. එමෙන්ම එහි රාත‍්‍රිය ගත කිරීමට (කඳවුරු ගසා* යනවා නම් මාසෙකට කලින් බත්තරමුල්ලේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවෙන් වෙන් කරවා ගැනීමට සිදුවේ.   

          මහවැලි, කැලණි හා වළවේ යන ප‍්‍රධාන ගංඟා ත‍්‍රිත්වයේ ජලපෝෂක ප‍්‍රදේශයක් වන හෝර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් ද පෝෂණය කෙරේ. වන උයන් අතරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ ද හෝර්ටන් තැන්නටය. මෙහි එන සංචාරකයන්ගේ අවධානය දිනාගත් ස්ථාන අතරින් ලෝකාන්තයෙන් විශේෂය. මීටර් 870ක් වු දැඩි බෑවුමක පිහිටි මෙය අපුර්වත්වය සමඟ බිය දනවන තැනකි. පහත බලන විට මීදුමෙන් තොර කාලගුණයක් පැවතුණහොත් ඔබ වාසනාවන්තය. ඒ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සිට සබරගමු පළාතේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ, බලංගොඩ නන්පෙරියල් වතු යාය දැක ගැනීමට හැකි වන නිසාය. 

          උසින් මිටර් 270ක් වු කුඩා ලෝකාන්තය ද මෙහි අසිරිය තව තවත් වැඩි කරනු ලබයි. මහා ලෝකාන්තයේ ප‍්‍රමාණයෙන් තුන් ගුණයකට වඩා කුඩා මෙහි ප‍්‍රපාතය ශ‍්‍රී ලංකාවේ ගිනිනොණ දිශාව තෙක් පැතිරි යයි. ලෝකාන්තයත්, කුඩා ලෝකාන්තයත් අතර දුර කීලෝමීටර 5ක් පමණ වේ.

          වලාකුලූ වනාන්තර තුළ සිදුවන ක‍්‍රියාදාමය නිරීක්ෂණය කිරීමට ලෝකාන්තය වටා වන පියස සුන්දර අවස්ථාවකි. වලාකුලූ ඉතා උස් වු කඳු මුදුන් ඇති තැනකදී කඳු ආවරණය කර ගනිමින් බොහෝ විට සවස් කාලයේ දී වැසි ඇති කරයි. නමුත් ශාක සහිත පරිසරයක දී මෙම වලාකුලූ ශාක සමග ගැටීමෙන් ජල බිංදු වෑස්සීමක් සිදු කරයි. ඇතැම් ප‍්‍රදේශවලට මෙය වර්ෂාපතනයෙන් ලැබෙන ජල ප‍්‍රමාණයටත් වඩා අධිත විම ද විශේෂත්වයකි. වර්ෂාව නොතිබුණ ද පොළව තෙමි මඩවන තරමට එය තෙත බරින් නැහැවී පවතී.

          මෙම පරිසරය විශාල විශයෙන් ජෛව විවිධත්වයෙන් යුතුය. 1992 දී කළ පර්යේෂණ වලට අනුව මෙහි ශාක විශේෂ 101ක් පමණ ඇත. ඉන් 49ක්ම ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික ඒවා වේ. බහුතරය හෝර්ටන් තැන්නටම පමණක් ආවේණික වු ශාක විශේෂයන්ය. සේශීය ශාක අතරින් කුඩාම වර්ගයේ උණ විශේෂයක් වන කුරු උණ ගස් පරිසරයට අලංකාරයක් මෙන්ම එහි සුන්දරත්වය ඔප්නංවන ගෝනුනුහට ප‍්‍රණීත ආහාරයකි. මේ තුළ දැකිය හැකි මහා රත්මල හෙවත් අශෝක ශාකය විශේෂ වේ. එය හෝර්ටන් තැන්නට ගෙන දෙන්නේ අමුතුම සුන්දරත්වයකි. ශ‍්‍රී ලංකාවටම ආවේණික සිතැසියා නැමැති පක්ෂියෙකු මඟින් මෙම මල් පරාගණය සිදු කරයි. එමෙන්ම මේ පුෂ්පය මධ්‍යම පළාත් පුෂ්පය ලෙස ද පිළිගැනේ. 

          මෙහි පක්ෂීන් විශේෂ 98ක් ද, ක්ෂීරපායින් විශේෂ 14ක් ද, උභය ජීවින් විශේෂ 16-20ක් පමණ ද, සමනල විශේෂ 40ක් පමණ ද දැකගත හැකිය. 
         එමෙන්ම සුන්දර සිය ඇලි කිහිපයක් ද මේ තුළ දැක ගත හැකිය. ඒ අතරින් වන ලැහැබ තුළ පිහිටි මීටර් 19ක් පමණ උසැති බේකර්ස් ඇල්ල ඉතා අලංකාරවත් ලෙස ඇඳ හැලේ. ගෝනුනු, මුවන්, ලේනුන්, ඌරන් වැනි සතුන් ද, කුඩා පක්ෂීන් මෙන්ම ජලජ ජීවින්ගෙන් ද මේ පරිසරය පරිපුර්ණය. 

         මෙහි වනාන්තර කුරු වනාන්තරවල ස්වභාවය දරයි. එසේ වී ඇත්තේ එම ප‍්‍රදේශවල පවතින දැඩි සුළඟට ඔරෝත්තු දිය හැකි වන පරිදිය. මෙහි ශාක සාමාන්‍යයෙන් මීටර 12-15ක් පමණ උසට වැඩෙන අතර ගස් මුදුන කූඩයක හැඩයක් ගනු ලබයි.

      මෙසේ ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් වු සොබා දහමේ අපුර්ව දායාදයක් මෙන්ම ලෝක උරුමයක් ද වන හෝර්ටන් තැන්න රැුක ගැනීම පරිසර හිතකාමී අප කාගෙත් වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ.








Wednesday, July 12, 2017



රටා මවයි


හැකිනම් තේරුම් ගන්නට .....
ජීවිතේ රටාවන් .....
දැනේවි .....
විශ්වයේ රටාවම .....
රටාවක් බව .....

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...